ගුරුවරුන්ගේ හා මාපියන්ගේ ද අවවාද පිළිගැනීමට සුදුසු අන් දැනුමැතියන්ගේ ද අවවාදයන් අනුශාසනයන් නො පිළිගන්නා ස්වභාවය දෝවචස්සතා නම් වේ. එනම් අකීකරු බව ය. පුද්ගලයකු දුරුවල වන්නේ රාග ද්වේෂ මෝහ මානාදීන් නිසා ය. බොහෝ තරුණ තරුණියෝ රාගයෙන් මඩනා ලදුව මාපියාදි හිතවතුන්ගේ අවවාද නො පිළිගෙන සිය කැමැත්තට අනුව ක්‍රියා කොට විනාශයට පත් වෙති. ඇතැම් පැවිද්දෝ ද රාගය නිසා ආචාර්යෝපාධ්‍යායයන් ගේ අවවාදයට අනුකූල නොවී පැවිද්දෙන් පිරිහෙති. අන්‍යයකු හා හෝ අවවාද දායකයා හා හෝ ද්වේෂයෙන් සිටින තැනැත්තා ද අවවාද නො පිළි ගනී. කළ යුත්ත නො කළ යුත්ත මග නො මග මම දනිමි ය, කාගේවත් අවවාද මට නුවුමනා ය යන සම්මෝහය නිසා ද අවවාද නො පිළි ගනී. ඇතැම්හු මට ගුරුකම් දෙන්නට කෙනෙක් නැත යන මානය නිසා ද අවවාද නො පිළිගනිති. ධර්ම වශයෙන් කියත හොත් රාග ද්වේෂ මෝහ මානාදිය ම දෝවචස්සතාවය යි කිය යුතුය. දෝවචස්සතා නම් වූ මේ අවවාද නො පිළි ගන්නා ස්වභාවය මහත් පරිහානිකර කරුණෙකි. එයින් පිරිහීමට පත්ව සිටින අය ලෝකයෙහි බොහෝ ය. සෝවචස්සතා නම් වූ පිළිගන්න ස්වභාවය දියුණුවට ඉමහත් හේතුවකි. සෝවචස්සතා ගුණය මංගල සූත්‍රයෙහි දැක්වෙන අටතිස් මගුල් කරුණු වලින් ද එකකි. උගත් නූගත් බාල මහළු කාහටත් වරදින අවස්ථා ඇති වේ. මුළාවන අවස්ථා ඇති වේ. කා අතිනුත් වරද සිදුවිය හැකි ය, කවුරුනුත් නො මග යා හැකි ය. තමාගේ වරද තමාට නො පෙනේ. එය පෙනෙන්නේ අන්‍යයන්ට ය. නොයෙක් විට උගතා ගේ වරද නූගතාට ද ගුරුවරයාගේ වරද ගෝලයාට ද පෙනේ. මාපියන්ගේ වරද දූදරුවන්ට ද පෙනේ. එසේ පෙනෙන බැවින් සමහර විට උගතුන්ට නූගතුන්ගෙන් ද වටිනා අවවාද ලැබේ. මාපියන්ට ද දරුවන්ගෙන් වටිනා අවවාද ලැබේ. එබැවින් කවුරුන් විසිනුත් අවවාද පිළිගත යුතුය. සමහරුන්ගෙන් ලැබෙන අවවාද පිළිගැනීමට නුසුදුසු ඒවා විය හැකි ය. එහෙත් කාගෙන් වුවද අවවාදයක් ලද හොත් එය ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් නො වී විමසා බැලිය යුතු ය. පහත් කෙනකුගේ අවවාදයක් පිළිගැනීම තමාට මදිකමකැයි නො සිතිය යුතු ය. ප්‍රඥාවෙන් බුදුරදුන්ට පමණක් දෙවෙනි සැරියුත් මහ තෙරුන් වහන්සේ කුඩා අයගේ අවවාද ගෞරවයෙන් පිළිගත්හ.
දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ හැඳ සිටි අඳනයේ කොනක් එල්ලෙමින් තිබුණේ ය. කොන එල්ලෙන සේ හැඳීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධ ය. එය දුටු සත් හැවිරිදි සාමණේර නමක් “ස්වාමීනි, නුඹ වහන්සේ ගේ අඳනයේ කොනක් එල්ලේය” යි කී ය. එබස් ඇසූ සැරියුත් මහ තෙරුන් වහන්සේ එකෙණෙහි ම පරිමණ්ඩල සිකපදය අනුව අඳනය සකසා හැඳ “ආචාර්යයෙනි, දැන් හොඳදැ” යි කියා ඇඳිලි බැඳ,
තදහු පබ්බජිතෝ සන්තෝ - ජාතියා සත්තවස්සිකො
සෝපි මං අනුසාසෙය්‍ය - සම්පටිච්ඡාම මත්ථකෙ
(දේවපුත්ත සංයුත්තට්ඨකතා)
යනුවෙන් දැක්වෙන පරිදි එදවස් පැවිදි වූ සත් හැවිරිදි නමක් වුව ද මා හට අනුශාසනා කළ හොත් මුදුනෙන් පිළිගනිමි යි වදාළහ.
පාපමිත්තතා
පරපණ නසන, සොරකම් කරන, කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, සුරාපානය කරන, ශ්‍රද්ධාව නැති, තුනුරුවන්ට අගරු කරන, මසුරු නපුරු අදහස් ඇති, ධර්මය නො දත් ගිහියෝ ද; දුශ්ශීල වූ ලාමක ගති පැවතුම් ඇත්තා වූ අපවිත්‍ර කායකර්මාදිය ඇත්තා වූ සැක කළ යුතු පැවතුම් ඇත්තා වූ ශ්‍රමණත්වය නැති ව ශ්‍රමණයන් සේ පෙනී සිටින්නා වූ අබ්‍රහ්මචාරී ව බ්‍රහ්මචාරීන් සේ පෙනී සිටින්නා වූ කුණු වූ කායකර්මාදිය ඇත්තා වූ රාගාදි කෙලෙස් දියෙන් තෙත් වූ රාගාදි කෙලෙස් කසළ ඇත්තා වූ පැවිද්දෝ ද පාපී පුද්ගලයෝ ය. ගිහි වූ හෝ පැවිදි වූ හෝ ඒ පාප පුද්ගලයන්ට නැමී සිටින ඔවුන් වෙත නැවත නැවත එළඹෙන ඔවුන් හා එක්ව කටයුතු කරන එක්ව වාසය කරන ස්වභාවය පාපමිත්තතා නම් වේ. එය ඒ ආකාරයෙන් ඇතිවන තණ්හාව ය. පාප පුද්ගලයන් හොඳ අතට හැරවීමේ අදහසින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඔවුන් හා මිත්‍ර කම් පැවැත්වීම ඔවුන් ඇසුරු කිරීම පාපමිත්තතා නම් වූ ක්ලේශය නො වේ. යහමගට පැමිණවීම පිණිස පාප පුද්ගලයන් සේවනය කිරීම කුශල ක්‍රියාවකි. සත්පුරුෂයන් එසේ නො කළහොත් පාපීන්ට යහමගට හැරීමට ක්‍රමයක් නැත. පාපය පිළිකුල් කළ යුත්තකි. බුදුරදුන් විසින් වදාරා ඇත්තේ පාපී පුද්ගලයන් ද භජනය නො කළ යුතු පිළිකුල් කටයුතු පුද්ගලයන් බව ය. ධර්මසංඥාවක් නැති පෘථග්ජන පුද්ගලයාගේ සිත පවතින්නේ පවට බරව ය. ඔහුට කුශලයෙන් සතුටක් නො ලැබිය හැකිය. ඔහුට ඇති මිහිර පාපය ය. ඔහුට ප්‍රීතියක් ලැබෙන්නේ පාපයෙනි. පාපකාරී පුද්ගලයන් ද ඔහුට ප්‍රිය ය. ඔහු ගේ සිත ලෙහෙසියෙන් ම පාපකාරීන් වෙත ඇදෙන්නේ ය. නැමෙන්නේ ය. සත්පුරුෂයන් ඔහුට එතරම් ප්‍රිය නැත. ඔහුට පෙනෙන්නේ හොඳ නරක කියන සත්පුරුෂයන් කරදරකාරයන් ලෙස ය. එබැවින් පාප පුද්ගලයන් වෙත ධර්මය නො දත් පෘථග්ජන පුද්ගලයාගේ සිත ලෙහෙසියෙන් ඇදී යා හැකි බැවින් එසේ නොවන පරිදි පරිස්සම් විය යුතුය. පාපමිත්‍ර සේවනය ඉතා අනර්ථකර කරුණෙකි. කලින් යහපත් චරිතය ඇතිව සිටි බොහෝ දෙනකුන් පව්කාරයන් වී දෙලොවින් ම පිරිහෙන්නේ පාප මිත්‍ර සේවනයෙනි. එබැවින් එය භයානක දෙයක් ලෙස සැලකිය යුතුය. ලෝකයෙහි යහපත් පුද්ගලයන් වී දියුණු වී සිටිය හැකි බොහෝ දෙනකුන් දෙලොවින් ම පිරිහෙන්නේ පාපමිත්‍ර සේවනයෙනි. ගිහියන් බෙහෙවින් පිරිහෙන්නේ ගිහි පාපමිත්‍රයන් නිසා ය. පැවිද්දන් බෙහෙවින් පිරිහෙන්නේ ශ්‍රමණ පාපමිත්‍රයන් නිසා ය. ශ්‍රමණ පාපමිත්‍රයා නිසා ගිහි පැවිදි දෙපක්ෂය ම පිරිහෙන බව කිය යුතු ය. අජාසත් රජතුමා පමණ බුදුනට පැහැදී සිටිය අනිකෙක් නො වීය. දේවදත්ත නමැති පාප භික්ෂුව ඇසුරු කිරීම නිසා ඔහුට අපායට යන්නට සිදුවිය.
ඇතැම්හු පාපපුද්ගලයන්ගෙන් ලබාගත යුතු යම් යම් ප්‍රයෝජන ලබනු පිණිස ඔවුන් ආශ්‍රය කළ ද අපි ඔවුන් අනුගමනය නො කරමු ය, ඔවුන් කරන පව්කම් වලට හවුල් නො වෙමුය යි සිතමින් කියමින් පාපමිත්‍ර සේවනය කෙරෙති. ඔවුන්ට ආරම්භයේ දී පව්කම් පිළිකුල් ය. නැවත නැවත දැකීමෙන් ඒ පිළිකුල ක්‍රමයෙන් හීන වේ. පව්කම් ගැන මධ්‍යස්ථ භාවයක් ඇති වේ. තවත් කල් යාමෙන් මඳින් මඳ පව්කම් වලට සහාය වන්නට පටන් ගනී. අන්තිමේ දී තුමූ ද ඒවා කරන්නට පටන් ගනී. මෙසේ විය හැකි බැවින් කිනම් කරුණක් නිසා වුව ද පාපමිත්‍ර සේවනය නොකිරීම ම යහපත් බව කිය යුතු ය.
යාදිසං කුරුතෙ මිත්තං - යාදිසං වූපසේවති,
ස වේ තාදිසකෝ හෝති - සහවාසෝ හි තාදිසෝ.
(ඉතිවුත්තක)
යම්බඳු පුද්ගලයකු මිත්‍ර කර ගනී ද යම්බඳු පුද්ගලයකු සේවනය කෙරේ ද ඔහු ද එබඳු වන්නේ ය. එක්ව වාසය කිරීමේ ස්වභාවය එය ය.
පාපකාරීන් ඇසුරු කරන්නේ සොරකම් ආදි පව්කම් වලට සහභාගී වේ. සහභාගී නුවූයේ ද පව්කම් ගැන සැක කරනු ලබන්නේ ය. එයින් ඔහුට අපකීර්තියක් ද ඇති වන්නේ ය.
අකරොන්තෝපි වේ පාපං - කරොන්ත මුප සේවති.
සංකියෝ හෝති පාපස්මිං - අවණ්ණෝ චස්ස රූහති.
(ඉතිවුත්ත)
පව් නොකරන්නේ ද පාපකාරීන් සේවනය කෙරේ නම් පව්කම් ගැන සැක කළ යුත්තෙක් වන්නේ ය, අපකීර්තියක් ද ඔහුට වන්නේ ය යනු ගාථාවේ තේරුම ය.
අලි බලන්නා අලියාගෙන් නැසෙන්නාක් මෙන් සර්පයන් ඇසුරු කරන්නා සර්පයකුගෙන් නැසෙන්නාක් මෙන් දුර්ජන පාපීන් ඇසුරු කරන්නා ඔවුන්ගෙන් ම විපතට පත් වේ. ඇතැම් පාපීහු ඔවුන් කළ අපරාධ වලට ආශ්‍රිතයන් හසු කොට ඔවුහු ගැළවෙති. පාප මිත්‍රයන්ගෙන් උපකාර ලැබීමෙන් ද වන්නේ නොයෙක් විට නපුරෙකි. පාපමිත්‍රයන්ට උපකාර කිරීමෙන් ද නොයෙක් විට වන්නේ නපුරෙකි. පාපීන්ට උපකාර කිරීමෙන් බෝසතාණන් වහන්සේට නොයෙක් විට විපත් පැමිණි බව ජාතක කතා වල දක්නා ලැබේ. කරුණු මෙසේ හෙයින් පාප මිත්‍ර සේවනයෙන් වෙන්වීම කාහටත් යහපතක් බව කිය යුතු ය.