70. අස්සාද දිට්ඨි
71. අත්තානුදිට්ඨි
72. මිච්ඡාදිට්ඨි
කාමයන් පරිභෝග කිරීමෙන් දොසක් නැතය යන දෘෂ්ටි අස්සාද දිට්ඨි නම් වේ. ඒ දෘෂ්ටිය ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාමයන් ඇත්තේ සත්ත්වයන්ගේ ප්‍රයෝජනයට ය. සත්ත්වයන්ට සැප ලැබීමට අවශ්‍ය මේවා පරිභෝග නො කොට දුක් විඳීම අනුවණ කමකැ යි සලකා සිත් සේ කාමයන් පරිභෝග කරති. ආහාර පාන වස්ත්‍ර වාසස්ථානාදීහු කාමයෝ ය. ඒවා පරිභෝග කිරීමේ නිරවද්‍ය ක්‍රමයක් ද ඇත්තේ ය. සාවද්‍ය ක්‍රමයක් ද ඇත්තේ ය. තණ්හාවෙන් තොරව නුවණින් පරිභෝග කිරීම නිරවද්‍ය ක්‍රමය ය.
“යථාප්පච්චයං පවත්තමානෝ ධාතුමත්තකෝ යේවායං පිණ්ඩපාතෝ, තදුපභුඤ්ජකො ච පුග්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජිවෝ සුඤ්ඤො. සබ්බෝ පනායං පිණ්ඩපාතෝ අජිගුච්ඡනීයෝ. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡිනීයෝ ජායති.”
යනුවෙන් දැක්වෙන පරිදි මේ ආහාරය ප්‍රත්‍යය අනුව පවත්නා වූ ධාතු මාත්‍රයෙක. එය අනුභව කරන පුද්ගලයා ද සත්ත්ව නොවූ ජීව නොවූ සත්ත්වභාවයක් නැත්තා වූ ධාතුමාත්‍රයෙක. දැනට පිළිකුල් නො වූ මේ ආහාරය මේ කුණු කයට ඇතුළු වීමෙන් ඉතා පිළිකුල් බවට පැමිණෙන්නේ ය. මෙසේ නුවණින් සලකා තණ්හාවෙන් තොරව ආහාර වළඳන භික්ෂූන් ගේ ඒ රසකාමී සම්භෝගය නිරවද්‍ය ය. වස්ත්‍රාදිය පරිභෝගයත් එසේම ය. ආහාර රස විඳිමින් ස්ප්‍රීතික තණ්හාවෙන් ආහාර වැළඳීම සාවද්‍ය පරිභෝගය ය. මේවා තිබෙන්නේ අපට ප්‍රයෝජන ගැනීමට ය, ප්‍රීති වීමට ය, නැතහොත් මේවා දෙවියන් විසින් මවා ඇත්තේ අහක දැමීමට නොව අපට භුක්ති විඳීමට ය කියා ආහාර ගැනීම වඩාත් සාවද්‍ය ය. අන්‍ය වස්තූන් පරිභෝගය ද එසේ ම ය. සාවද්‍ය කාම සම්භෝගය වුව ද අපායෝත්පත්තියට හේතු වන කර්මපථයක් නො වේ.
“මාතාපිතරෝහි භාතුභගිනි ආදයෝ ච ජුත්තභාතිකානං ආවාහවිවාහමංගලං නාම කාරෙන්ති. එවං තාවෙස ලෝකවජ්ජවසේන පවත්තරාගෝ අප්පසාවජ්ජජෝ. සදාරසන්තෝස මූලිකා පන අපායේ පටිසන්ධි නාම න හෝති.”
(මනෝරථපූරණී)
මරණාසන්නයෙහි කාම වස්තුව ගැන ආශාවෙන් විසුව හොත් ඒ හේතුවෙන් ප්‍රේතව හෝ තිරිසන් ව හෝ ඉපදිය හැකි ය. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කලක තිස්ස නම් ස්ථවිර නමක් සියුම් වස්ත්‍රයක් ලැබ එයින් සිවුරක් කොට සෙට එය පරිභෝග කරමි යි තබා ගෙන සිටිය දී එදින රාත්‍රියේ හටගත් අජීර්ණ රෝගයකින් සිවුරට ආශාව තබාගෙන කලුරිය කළේ ය. ඒ ස්ථවිර තෙමේ ඒ ආශාව නිසා සිවුරෙහි උකුණෙක් ව උපන්නේ ය. මේ ධම්මපදට්ඨකථාවේ සඳහන් කථාවෙකි. බුද්ධ කාලයේ අරිට්ඨ නමැති භික්ෂුවක් හා කණ්ඨක නමැති සාමණේර නමක් කාම සම්භෝගයේ වරදක් නැතය යන මේ දෘෂ්ටිය ගෙන සිටි බව විනයෙහි සඳහන් වේ.
අත්තානුදිට්ඨි යනු ඉහත දැක්වූ සත්කාය දෘෂ්ටිය ම ය. එය විස්තර කර ඇත.
මිච්ඡාදිට්ඨි යනු නත්ථි දින්නං නත්ථි යිට්ඨං යනාදීන් දැක්වෙන දශවස්තුක මිථ්‍යා දෘෂ්ටිය ය. එය ද විස්තර කර ඇත.