97. අරියානං අදස්සන කම්‍යතා 98. සද්ධම්මං අසෝතු කම්‍යතා 99. උපාරම්භචිත්තතා

star_outline

“අරියානං අදස්සන කම්‍යතා” යනු ආර්‍ය්‍යයන් නො දකිනු කැමති බව ය. නො කළ යුත්තෙහි නො යෙදෙන කළ යුත්තෙහි උත්සාහයෙන් යෙදෙන ගරු බුහුමන් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ ය. ලොවුතුරා බුදුවරු ද පසේ බුදුවරු ද සතර ආර්‍ය්‍යඵලයන් අතුරෙන් යම් කිසිවකට පැමිණ ඇති ගිහිවූ ද, පැවිදි වූ ද බුද්ධ ශ්‍රාවකයෝ ද ආර්‍ය්‍යයෝ ය. ආර්‍ය්‍යයන් හැඳින ගැනීම දුෂ්කර ය. ආර්‍ය්‍යයෝ තමන්ගේ ආර්‍ය්‍ය භාවය ප්‍ර‍කාශ නො කෙරෙති. ඔව්හු එය දුගියෙකු නිධානයක් ආරක්ෂා කරන්නාක් මෙන් අන් කිසිවකුට නො දන්වා ආරක්ෂා කරති. ඔවුන් ඇසුරු කරන්නවුන්ට වුවද ඔවුන්ගේ ආර්‍ය්‍යභාවය නො දත හැකි ය. ආර්‍ය්‍යයන් දැන ගැනීමේ දුෂ්කරත්වය පිළිබඳ ව ධම්මසංගණී අට්ඨ කථාවේ දක්වා ඇති කථාවක් මෙසේ ය:-

සිතුල්පව් වෙහෙර වැඩ විසූ රහතන් වහන්සේ කෙනකුන්ට එක් බුඩ්ඪපබ්බජිත භික්ෂු නමක් උපස්ථාන කරමින් විසුවේය. දිනක් ඒ භික්ෂුව තෙරුන් වහන්සේ සමග පිඬු පිණිස හැසිර තෙරුන් වහන්සේගේ පාසිවුරු ගෙන තෙරුන් වහන්සේ ගේ පසුපසින් එන්නේ “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ නම් කෙබන්දෝදැ”යි විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ “ඇවැත්නි, ඇතැම් මහල්ලෙක් ආර්‍ය්‍යයන්ගේ වත්පිළිවෙත් කරමින් පා සිවුරු ගෙන එක් ව හැසිරෙන්නේ ද ආර්‍ය්‍යයන් නො හැඳින ගන්නේය. ආර්‍ය්‍යයන් හැඳින ගැනීම දුෂ්කරය”යි කීහ. එයින් ද මහලු භික්ෂු තෙමේ තෙරුන් වහන්සේගේ ආර්‍ය්‍යභාවය තේරුම් නො ගත්තේ ය. මේ ඒ කථාව ය.

ධර්මයක් නැති ධර්මය නො දත් පව්කම්හි ඇලී සිටින අන්ධ පෘථග්ජන පුද්ගලයන්ට කිසි ලෙසකින් ආර්‍ය්‍යයන් හැඳින ගත නො හැකිය. එබැවින් ඔවුනට ආර්‍ය්‍යයන් නො දකිනු කැමැත්තක් ඇතිවේ. මෙහි ආර්‍ය්‍යයන් නො දකිනු කැමැත්තය යි කියන ලදුයේ ආර්‍ය්‍යයන් දුටහොත් අහක බලා ගන්නා බව හෝ ඇස පියා ගන්නා බව හෝ ආර්‍ය්‍යයන් ඇතය කියන තැනකට නොයන බව හෝ නො වේ. ආර්‍ය්‍යයෝ ද, තරමකට ආර්‍ය්‍ය ගුණ ඇති කළ්‍යාණ පෘථග්ජනයෝ ද පව්කම් වලින් වැළකී සිටිති. කුශල ක්‍රියාවෙහි යෙදෙති. තමන්ට හමුවන තමන් වෙත පැමිණෙන අයට ධර්මයෙන් අනුශාසනා කෙරෙති. ධර්මයක් නැති ධර්මය නොදත් පව්කම් හි ඇලී ධර්මයෙන් ඈත්ව සිටින පාප පුද්ගලයන්ට ප්‍රිය ඔවුන් ගේ ජාතියේ පව් කරන පුද්ගලයෝ ය. ධර්මයක් ඇති තමන්ට හමුවන්නවුන්ට ධර්මයෙන් අනුශාසනා කරන ආර්‍ය්‍ය පුද්ගලයන් හා කල්‍යාණ පෘථග්ජන පුද්ගලයන් ඔවුනට අප්‍රිය ය. ඒ උත්තම පුද්ගලයන්ගේ අනුශාසනය ද ඔවුනට අප්‍රිය ය. එබැවින් පාපකාරීහු ඒ උත්තම පුද්ගලයන් වෙත යාමට ඔවුන් තමන් වෙත පැමිණීමට ඔවුන් හා එක්ව විසීමට මිත්‍ර‍ත්වයක් පැවැත්වීමට නො කැමතියහ. මෙහි ආර්‍ය්‍යයන් නො දකිනු කැමති බවය යි කියන ලදුයේ එයට ය. සත්පුරුෂයන්ට ආර්‍ය්‍යයන් ප්‍රිය ය. ආර්‍ය්‍යයන් දකිනු සඳහා සත්පුරුෂයෝ පාටලී පුත්‍ර‍ බ්‍රාහ්මණයා මෙන් රටින් රට පවා යන්නාහ. පාටලී පුත්‍ර‍ බ්‍රාහ්මණයාගේ කථාව මෙසේ ය.

පාටලීපුත්‍ර‍ නගරද්වාරයේ ශාලාවක හුන් බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් කාලවල්ලී මණ්ඩපවාසී මහානාග තෙරුන් වහන්සේගේ ගුණ අසා අප ඒ උත්තමයන් දක්නට යා යුතුය යි කථා කරගෙන ලක්දිව බලා එන්නට පිටත් වූහ. එක් බමුණෙක් අතරමග කලුරිය කෙළේ ය. ඉතිරි බමුණා මුහුදු තෙරට පැමිණ නැවකින් ලක්දිවට පැමිණ මහාතීර්ථපට්ටනයෙන් ගොඩ බැස අනුරාධපුරයට ගොස් කාලවල්ලි මණ්ඩපය කොහි දැ යි අසා රෝහණ ජනපදයේ යයි මිනිසුන් කී කල්හි එහි ගොස් චුල්ලනගර නම් ගමෙහි ගෙයක නවාතැන් ගෙන තෙරුන් වහන්සේට පිළිගැන්වීමට දානය ද පිළියෙල කර ගෙන පසු දින උදෑසන තෙරුන් වහන්සේ වෙසෙන තැන අසා එහි ගොස් තෙරුන් වහන්සේ වැඩම කරනු දැක දුරදී ම වැඳ තෙරුන් වහන්සේ වෙත ගොස් උන් වහන්සේගේ පා අල්ලා වඳිමින් “ස්වාමීනි, නුඹ වහන්සේ උස්ය” යි කීය. නැවත ඔහු “ස්වාමීනි, නුඹ වහන්සේ ඉතා උස් නො වෙති. නුඹ වහන්සේගේ ගුණ නිල්වන් මහ සමුදුරට උඩින් ගොස් මුළු දඹදිව යට කෙළේය. මම පාටලීපුත්‍ර‍ නගරයේ දී නුඹ වහන්සේගේ ගුණ ඇසීමි”යි කීය. ඔහු තෙරුන් වහන්සේට දන් පිළිගන්වා පා සිවුරු පිළියෙල කර තෙරුන් වහන්සේ සමීපයේ පැවිදිව උන්වහන්සේගේ අවවාදය පරිදි මහණදම් පුරා දින කිහිපයකින් සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය.

(මනෝරථපූරණී.)

සද්ධම්මං අසෝතුකම්‍යතා යනු සද්ධර්මය ඇසීමට නො කැමති බව ය. ලෝකෝත්තර ගුණ යෝගයෙන් ශෝභන වූ පුරුෂයෝ සත් පුරුෂයෝ ය. ඔවුහු නම් බුද්ධාදීහුය. බුද්ධාදීන් විසින් දේශනය කරන ලද පුරුදු කරන ලද ලෝකානුකම්පාවෙන් දේශනය කරන ලද ධර්මය සද්ධර්ම නම් වේ. ඒ ධර්මය සියලු විෂ සියලු රෝග දුරු කරන උතුම් ඖෂධයෙකි.

යේ කේවි ඕසධා ලෝකේ - විජ්ජන්ති විවිධා බහුං

ධම්මෝසධ දසං නත්ථි - ඒතං පිවථ භික්ඛවෝ

(මිලින්ද පඤ්හ)

ලෝකයේ අනේකප්‍ර‍කාර බොහෝ ඖෂධයෝ ඇත්තාහ. ධර්මය නමැති ඖෂධයට සමාන ඖෂධයක් නැත. මහණෙනි, ධර්මෞෂධපානය කරව්ය යනු එහි තේරුම ය.

ඒ උත්තම ධර්මය අසා බොහෝ දෙන එය අනුව පිළිපැද දෙව් මිනිස් සැප ලබති. ජාති දුඃඛයෙන් මිදෙති. ජරා දුඃඛයෙන් මිදෙති. ව්‍යාධි දුඃඛයෙන් මිදෙති. මරණ දුඃඛයෙන් මිදෙති. ශෝකපරිදේව දුඃඛදෞර්මනස්‍යයන්ගෙන් මිදෙති. පරම සුන්දර නිර්වාණසුඛ්‍ය ලබති. බුද්ධධර්මයෙන් මිස අන් කිසි ධර්මයකින් විද්‍යාවකින් ශිල්පයකින් ශාස්ත්‍ර‍යකින් සත්ත්වයාට සංසාර දුඃඛයෙන් නො මිදිය හැකි ය. ඇතැම් ධර්මයන් අනුව පිළිපැදීමෙන් දෙව් මිනිස් සැප ලැබිය හැකි ය. ධර්මය නො අසා ධර්මය යනො දැන දුකින් නො මිදිය හැකි ය. ධර්මය නො දන්නෝ ධර්මයට ගරු නො කරන්නෝ ධර්මය අනුව නො පිළිපදින්නෝ සතර අපාය පුරවන්නෝ ය.

උපාරම්භවිත්තතා යනු අනුන් කරන හොඳ වැඩ වලට හා අනුන්ටත් චෝදනා ඉදිරිපත් කරන දොස් නඟන සිත ඇති බව ය. උපාරම්භ චිත්තය ඇතියෝ අනුන් කොතරම් යහපත් වැඩක් කළත් එහි යම් කිසි දොසක් දකිති. උපාරම්භ චිත්තයෙන් අනුන්ගේ වැඩ දෙස බලන්නවුන්ට එහි වරදක් පෙනෙන්නේ ය. මේ උපාරම්භ චිත්තය දේශපාලන පක්ෂවලට බැඳී සිටින අය අතර බෙහෙවින් දක්නා ලැබේ. එක් පක්ෂයකින් කොතරම් යහපත් දෙයක් කළ ද අනික් පක්ෂය එහි දොස් දක්වයි. ඇතැම්හු උපාරම්භ චිත්තයෙන් දහම් ඇසීම් කරති. ඔවුනට ධර්මය අවබෝධ නො වේ. ධර්ම රසය නො ලැබේ. ධර්මය තේරුම් ගත හැකි වන්නේ ධර්ම රසය ලැබිය හැකි වන්නේ උපාරම්භ චිත්තයෙන් තොරව ගෞරවයෙන් දහම් අසනුවන්ට පමණෙකි. මේ උපාරම්භය ධර්මය අසා එයින් යහපතක් සිදු කර ගැනීමට බාධාවෙකි.

“පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි පඤ්චහි? මක්ඛී ධම්මං සුණාති මක්ඛපරියුට්ඨිතෝ උපාරම්භචිත්තෝ ධම්මං සුණාති රන්ධගවේසී ධම්මදේසකේ ආහත චිත්තෝ හෝති ඛීලජාතෝ, දුප්පඤ්ඤෝ හොති ජළෝ ඵලමූගෝ, අනඤ්ඤාතේ, අඤ්ඤාතමානී හෝති, ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං.”

(අංගුත්තර පඤ්චක)

තේරුම :-

මහණෙනි, අංග පසකින් යුක්ත වූයේ සද්ධර්මය අසන්නේ ද ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අභව්‍ය වන්නේ ය. කවර අංග පසකින් ද යත්? ගුණමකු කම ඇතිව දහම් අසයි. දොස් නගන සිත් ඇතිව දොස් සොයමින් දහම් අසයි. ධර්ම දේශකයා කෙරෙහි ගැටුණු තද සිත් ඇතිව දහම් අසයි. නුවණ නැති මුවින් කෙළ කලන මෝඩයෙක් වෙයි. නො දත් අය දනිමිය යන හැඟීම ඇත්තේ වෙයි. මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත වූයේ බණ අසන්නේ ද ලෝකෝත්තර මාර්ගයට නො පැමිණෙන්නේ වෙයි.