පඤ්ච වේතෝඛිලා:

26. සත්ථරි කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.

27. ධම්මේ කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.

28. සංඝෙ කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.

29. සික්ඛාය කංඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.

30. සබ්‍ර‍හ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහතචිත්තෝ ඛීලජාතෝ.

ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි. ශාස්තෘන් වහන්සේ ගැන සොයමින් වෙහෙසෙයි. එසේ යයි විනිශ්චයට නො පැමිණෙයි. නො පැහැදෙයි. මේ එක් චේතෝඛිලයෙකි.

ධර්මය කෙරෙහි සැක කරයි. ධර්මය ගැන සොයමින් වෙහෙසෙයි. එසේය යි විනිශ්චයට නො පැමිණෙයි. නො පැහැදෙයි. මේ එක් චේතෝඛිලයෙකි.

සංඝයා කෙරෙහි සැක කරයි. සංඝයා ගැන සොයමින් වෙහෙසෙයි. නිශ්චයකට නො පැමිණෙයි. නො පහදී. මේ එක් චේතෝඛිලයෙකි.

ශික්‍ෂාව ගැන සැක කරයි. සොයමින් වෙහෙසෙයි. නිශ්චයකට නො පැමිණෙයි. නො පහදියි. මේ එක් චේතෝඛිලයෙකි.

සබ්‍ර‍හ්මචාරීන් කෙරෙහි කිපුණේ වෙයි. නො සතුටු සිත් ඇත්තේ වෙයි. ගැටුණු සිත් ඇත්තේ වෙයි. තද සිත් ඇත්තේ වෙයි. මේ එක් චේතෝඛිලයෙකි.

මේ චේතෝඛිල දේශනාව පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙකි. ධර්ම වශයෙන් මෙහි ඇත්තේ විචිකිත්සා ද්වේෂ යන ධර්ම දෙකය. චේතෝඛිල යනු ශීල සමාධි ප්‍ර‍ඥාවන් වැඩීමට, කෙලෙස් දුරු කිරීම සඳහා උත්සාහ කිරීමට, නො නැමෙන වියළි දණ්ඩක් මෙන් සිත තද කරන ධර්මයෝ ය. ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීමය යනු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති රැස් විහිදෙන ශරීරයක් තිබිය හැකි ද? අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි සියල්ල දැනීමට සමත් සර්වඥතා ඥානයක් තිබිය හැකි ද? කියා සැක කිරීම ය. ධර්මය ගැන සැක කිරීමය යනු සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ඇති ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්මයක් ඇත යයි කියති. එය සත්‍යයක් ද? එවැනි ධර්මයක් ඇත්තේ ද? මේ ත්‍රිපිටකය කියන ධර්මය බුද්ධභාෂිතයක් ම ද? පසු කලෙක භික්ෂූන් විසින් ඇති කරන ලද්දක් ද? විදර්ශනාවෙන් ලැබෙන සතර මාර්ග සතර ඵලයන් හා නිවනක් ඇත යයි කියති. මේ කියන ධර්ම සත්‍ය වශයෙන් ම ඇති ඒවා ද? මේවා යම් යම් අයගේ කල්පනා මාත්‍ර‍ ද කියා සැක කිරීම ය. සංඝයා ගැන සැක කිරීම ය යනු සුපටිපන්න උජුපටිපන්නාදි ගුණ වලින් හෙබි අෂ්ටාර්‍ය්‍ය පුද්ගල පිරිසක් ඇත යයි කියති. සත්‍යය වශයෙන් එබඳු පිරිසක් ඇත්තේ ද? නැත්තේ ද? කියා සැක කිරීම ය. ශික්ෂාවෙහි සැක කිරීම යනු අධිශීල අධිචිත්ත අධිප්‍ර‍ඥා යයි ශික්ෂාත්‍ර‍යක් ඇති බව කියති. ඒ කියන ශික්ෂාත්‍ර‍ය සත්‍ය වශයෙන් ම ඇතියක් ද? කියා සැක කිරීම ය. මෙවැනි සැක ඇති පුද්ගලයාට ක්ලේශප්‍ර‍හාණය සඳහා සමථ විදර්ශනාවන්හි නො යෙදිය හැකිය. ඔහුගේ සිත ඒවාට නො නැමිය හැකි ලෙස කණුවක් මෙන් තදව පවතී. ඒ තද බව කරන්නේ විචිකිච්ඡාව ය. ඒ චේතෝඛිලයකි. මේ ශාසනයෙහි පිළිවෙත් පිරීම භික්ෂූන් සමගියෙන් කරන ක්‍රියාවෙකි. අන්‍ය භික්ෂූන් හා කෝපයෙන් සිටින භික්ෂුව ගේ සිත ප්‍ර‍තිපත්තියට නො නැමී තදව පවතී. එබැවින් කෝපය චේතෝඛිලයෙකි.