අට්ඨ පුරිසදෝසා:

පුරිස දෝස යනු පුද්ගලයන්ගේ දෝෂයෝ ය. පාළිය දිග බැවින් මෙහි නො දක්වනු ලැබේ. මේ භික්ෂූන් පිළිබඳ කරුණු අටෙකි.

41. මේ ශාසනයෙහි භික්ෂුවක් ඔබ මෙනම් ඇවතට පැමිණියෙහි ය යි භික්ෂුවකට චෝදනා කරයි. ඒ භික්ෂු තෙමේ එවැන්නක් කළ බවක් මට මතක නැත කියා වරදින් මිදෙන්නට තැත් කරයි. මේ පළමුවන පුරුෂ දෝෂය ය. වරදක් වුව හොත් එයට කළ යුතු ප්‍ර‍තිකාර කොට ශීලය පිරිසිදු කර ගත යුතු ය. මේ දෝෂය නිසා ඒ භික්ෂුව පාරිශුද්ධියක් නො ලබයි.

42. ඇතැම් භික්ෂුවක් අන් භික්ෂුවක් විසින් තමාට ආපත්තියක් චෝදනාවක් ඉදිරිපත් කළ කල්හි බාල වූ අව්‍යක්ත වූ ඔබගේ කථාවෙන් කවර ප්‍රයෝජනයක් ද ඔබත් චෝදනා කරන්න සිතන්නෙහි ද කියා චෝදක භික්ෂුවට දෝෂාරෝපනය කර තමා නිදහස් වන්නට උත්සාහ කරයි. මේ දෙවන පුරුෂ දෝෂය ය.

43. ඇතැම් භික්ෂුවක් අන් භික්ෂුවක් විසින් තමාට ආපත්තියෙන් චෝදනා කරන කල්හි ඔබ ද මෙනම් ඇවතට පැමිණ ඇත්තෙහි ය. ඔබගේ ආපත්තියට පළමුවෙන් ප්‍ර‍තිකාර කර ගනුවයි චෝදකයාට ම චෝදනා කොට තමාගේ ආපත්තිය යටපත් කිරීමට උත්සාහ කරයි. මේ තුන්වන පුරුෂ දෝෂය ය.

44. ඇතැම් භික්ෂුවක් භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන කල්හි එය යටපත් කිරීමට අනිකක් කියයි. කථාව අන් අතකට හරවයි. ඔබ ඇවතට පැමිණියෙහි ය යි කියන කල්හි කවරෙක් ආපත්තියට පැමිණියේ ද කුමකට පැමිණියේ ද කෙසේ ඇවතට පැමිණියේ ද ඔබ වහන්සේලා කියන්නේ කාටද යනාදිය කියයි. ඔබ ඇවතට පැමිණියෙහිය යි කියන කල්හි මම සැවැත් නුවරට ගියෙමි. එහි බොහෝ ජනයා ඇත යනාදීන් කථාව අන් අතකට ගෙන යයි. කෝපයත් නො සතුටක් දක්වයි. මේ සතර වන පුරුෂ දෝෂය ය.

45. ඇතැම් භික්ෂුවක් භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන කල්හි සඟ මැද දෙ අත් ඔසවා හරඹ කරමින් නො සරුප් කතා කරයි. මේ පස්වන පුරුෂ දෝෂය ය.

46. ඇතැම් භික්ෂුවක් භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන කල්හි මා ඇවතකට පැමිණ නැතය යි තුෂ්ණීම්භූත ව හිඳ සංඝයා වෙහෙසවයි. මේ සවන පුරුෂ දෝෂය ය.

47. ඇතැම් භික්ෂුවක් භික්ෂූන් විසින් සඟ මැද ආපත්තියෙන් චෝදනා කරන කල්හි සංඝයා හට සැලකිල්ලක් නො කොට චෝදකයා ගණන් නො ගෙන චෝදනාව ගණන් නො ගෙන ඇවතින් නොනැඟී සාපත්තික ව ම නැඟී යයි. මේ සත්වන පුරුෂ දෝෂය ය.

48. ඇතැම් භික්ෂුවක් භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන කල්හි ඔබ වහන්සේලා අප ගැන බොහෝ වෙහෙසෙන්නාහුය. අප ගැන වෙහෙසීමෙන් කම් නැත. ඔබ වහන්සේලාට කරදරයක් නැති වීම පිණිස අපි යන්නෙමුයි සිවුරු හැර යයි. මේ අටවන පුරුෂ දෝෂය ය.