29. අදිට්ඨෙ දිට්ඨවාදිතා.
30. අස්සුතෙ සුතවාදිතා.
31. අමුතේ මුතවාදිතා.
32. අවිඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා
නොදක්නා ලද්ද දක්නා ලද්දේය යි කියන බව, නො ඇසූ දෙය අසන ලදැයි කියන බව, ඝාණ ජිව්හා කායද්වාරයන් කරණ කොට නො දන්නා ලද්ද දන්නා ලදැයි කියන බව, මනසින් නො දන්නා ලද්ද දන්නා ලදැයි කියන බව යන මේ සතර අනාර්ය්‍ය ව්‍යවහාරයෝය.
අපරේපි චත්තාරෝ අනරියවෝහාරා:
33. දිට්ඨෙ අදිට්ඨවාදිතා,
34. සුතේ අස්සුතවාදිතා,
35. මුතේ අමුතවාදිතා,
36. විඤ්ඤාතේ අවිඤ්ඤාතවාදිතා.
දක්නා ලද්ද නො දක්නා ලදැයි කියන බව, අසන ලද්ද නො අසන ලදැයි කියන බව, ඝාන ජිව්හා කායද්වාරයන්ගෙන් දන්නා ලද්ද නො දන්නා ලදැයි කියන බව, සිතින් දන්නා ලද්ද නො දන්නා ලදැයි කියන බව යන මේ සතර ද අනාර්ය ව්‍යවහාරයෝ ය.
මේ අටට අෂ්ටානාර්ය ව්‍යවහාරය යි ද කියනු ලැබේ. අනරියවෝහාර යනුවෙන් අෂ්ටාකාරයකින් දක්වා ඇත්තේ බොරු කියන බව වූ එකම කරුණ ය. බොරුව බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් අන් හැම පවකට වඩා පිළිකුල් කරන පාපයෙකි. ආර්‍ය්‍යයෝ තමන්ගේ ජීවිතය රැක ගැනීම පිණිස වුව ද බොරු නො කියති.
අප බෝසතාණන් බෝධිසම්භාර පුරන කාලයේ සමහර ජාති වලදී උන් වහන්සේ අතින් වෙනත් පව් කම් සිදු වී ඇති නමුත් කිසි කලෙක බොරු කීම් කර නැති බව හාරිත ජාතක අටුවාවේ කියා තිබේ. බොරු කීම ලාමක පුද්ගලයන්ගේ සිරිතක් බැවින් ඉහත දැක්වූ කරුණු අටට අනාර්ය්‍ය ව්‍යවහාර යන නම තබා ඇත්තේ ය. බොරු කීම පව් වලින් ප්‍රධාන පව ලෙස කිව යුතුය. එහෙයින්
ඒකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො,
විතිණ්ණ පරලෝකස්ස - නත්ථි පාපං අකාරියං.
යනු වදාරන ලදි.
(ධම්මපදය ලෝකවග්ග)
සත්‍යය නමැති එක් දෙයක් හරනා ලද්දා වූ වචන දශයකින් එකකුදු සත්‍යය නොවන පරිද්දෙන් බොරු කියන්නා වූ පරලොව අත්හල පුද්ගලයාට නො කළ හැකි පවක් නැත ය යනු එහි තේරුම ය.