නව තණ්හා මූලක ධම්මා:

28. තණ්හං පටිච්ච පරියේසතා

29. පරියේසනං පටිච්ච ලාභෝ

30. ලාභං පටිච්ච විනිච්ඡයෝ

31. විනිච්ඡයං පටිච්ච ඡන්දරාගෝ

32. ඡන්දරාගං පටිච්ච අජ්ඣෝසානං

33. අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ

34. පරිග්ගහං පටිච්ච මච්ඡරියං

35. මච්ඡරියං පටිච්ඡ ආරක්ඛෝ

36. ආරක්ඛාධිකරණං දණ්ඩාදන සත්ථාදාන කලහ විග්ගහ විවාද තුවං තුවං ජේසුඤ්ඤ මුසාවාදා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්ති.

තණ්හාව මුල් කොට ඇති වන අකුශල ධර්මයෝ නව දෙනෙකි. තණ්හාව නිසා ධනය සෙවීම වේ. සෙවීම නිසා ධන ලාභය වේ. ලාභය නිසා මෙතෙක් ධනය අපට ආහාර පිණිසය, මෙතෙක් ඇඳුම් පැළඳුම් පිණිසය, මෙතෙක් ධනය බිරියටය, මෙතෙක් ධනය පුතාටය, දුවටය, මෙතෙක් ධනය තැන්පත් කිරීමට ය යනාදීන් විනිශ්චය ඇති වේ. මෙසේ අකුශල විතර්ක ඇති වීම හේතු කොට ලැබී ඇති වස්තූන් ගැන දුර්වල රාගය ද ඇති වේ. බලවත් රාගය ද ඇති වේ. මෙතන්හි අදහස් කරන්නේ දුර්වල රාගය ය. ඒ දුබල ඡන්ද රාගය නිසා මම ය මාගේය යි බලවත් විනිශ්චය ඇති වේ. ඒ අජ්ඣෝසානය හෙවත් විනිශ්චය නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් තදින් ගැනීම ඇති වේ. තදින් ගැනීමනිසා වස්තු අනුන්ට අයිති වීම අනුන්ට ප්‍රයෝජන වීම නො කැමති වන බව වූ මාත්සර්යය ඇති වේ. මාත්සර්යය නිසා ආරක්‍ෂාව ඇති වේ. ආරක්‍ෂාව නිසා අන්‍යයන් වළකනු පිණිස දඬු ගැනීම, ආයුධ ගැනීම, කෝලාහල, විවාද, තෝ තෝ කියා බැණීම්, කේලාම් කීම, බොරු කීම ආදි අනේක ලාමක අකුශල ධර්මයෝ ඇති වෙති. මේ තණ්හා මූලක ධර්ම නවය ය