44. කුහනා

star_outline

කුහනා, ලපනා, නේමිත්තිකතා, නිප්පේසිකතා, ලාභේන ලාභං නිජිගිංසනතා යන මේවා පැවිද්දන්ට ඇති විය හැකි ක්ලේශයෝ ය.

ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා ලබනු පිණිස ප්‍ර‍ණීත චීවර පිණ්ඩපාතාදිය පරිභෝග නො කොට නො වටනා රූක්ෂ චීවර පිණ්ඩපාතාදිය පරිභෝග කිරීමෙන් ද, ධ්‍යානාභිඥා මාර්ගඵල යන උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇතියෙකැ යි හැඟෙන ලෙස කතා කිරීමෙන් ද, එසේ හැඟෙන ලෙස ගමනාදි ඉරියව් පැවැත්වීමෙන් ද ජනයා විස්මයට පත් කිරීම රැවටීම කුහනා නම් වේ.

ඇතැම් කුහක භික්ෂූහු ගිහියන් සිවුරු පූජා කරන්නට දන් දෙන්නට ආවාස පන්සල් කරවන්නට කථා කළ හොත් ඔවුන් රවටා වඩ වඩා ලබා ගන්නා අදහසින් “හොඳ ඇඳුම් ප්‍ර‍ණීත ආහාර හොඳ ගෙවල් වුවමනා කාමභෝගී ගිහියන්ට ය. මහණදම් පුරන අපට, කෙබඳු සිවුරක් තිබුණත් ඇතය, මේ සිවුරු අපට හොඳය තවත් අපට සිවුරු වුවමනා නැත, අපට ගෙදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාත භෝජනය ඇත, තවත් දාන වුවමනා නැත, අපට කොහිත් විසිය හැකිය, වටිනා ආවාස පන්සල්වල විසීමෙන් කෙලෙස් වැඩෙනවා ය, අපට කැලෑවක ගසක් මුල හෝ ගුහාවක අතුපැලක විසීම වඩා හොඳය” කියා ප්‍ර‍ත්‍යයන් ප්‍ර‍තික්ෂේප කරති. හොඳ ඇඳුම් පැළඳුම් ආහාර පාන යාන වාහන ගෙවල් ඇති ව සැපසේ ජීවත් වන්නන් ගැන බොහෝ දෙනාට ඇති වන්නේ ඊර්ෂ්‍යාව ය. ඔවුනට ප්‍ර‍ත්‍යයන් ප්‍ර‍තික්ෂේප කරන භික්ෂුව ගැන ඇති වන්නේ සතුටෙකි. ඔවුහු ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කරන පැවිද්දාගේ අභ්‍යන්තරය ගැන නො දන්නා බැවින් මුන් වහන්සේ අන්‍ය භික්ෂූන්ට වඩා ගුණවත් උත්තමයෙක, දන් දිය යුත්තේ උපස්ථාන කළ යුත්තේ මෙබඳු උත්තමයන්ට යයි සිතා නැවත නැවතත් දන් දෙන්නට පූජා සත්කාර කරන්නට කථා කරති. එකල්හි කුහක භික්ෂුව මෙසේ බණ කියයි. “ශ්‍ර‍ද්ධාව ය, දීමට වස්තුව ය, සුදුසු ප්‍ර‍තිග්‍රාහකයෝ ය යන මේ තුන සම්මුඛ වීමෙන් ශ්‍ර‍ද්ධාවත් කුල පුත්‍ර‍යා බොහෝ පින් රැස් කර ගන්නේ ය” යි බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ පින්වතුන්ට අඩුවක් නැතිව ශ්‍ර‍ද්ධාව ඇත්තේ ය. දීමට ධනය ද ඇත්තේ ය. නැත්තේ පිළිගැනීමට ප්‍ර‍තිග්‍රාහකයන් ය. අප මේ පින්වතුන් දෙන දානය නො පිළිගත හොත් මේ පින්වතුන් කරන පූජා සත්කාරයන් නො පිළිගත හොත් මේ පින්වත්හු පිනෙන් පිරිහෙන්නාහ. එබැවින් මේ පින්වතුන්ගේ යහපත පිණිස අපි මින් පසු සැදැහැවතුන් දෙන ප්‍ර‍ත්‍යයන් පිළිගන්නෙමුය”යි කියයි. එයට සතුටු වන ගිහියෝ ඉන් පසු ඔහු වෙත ආහාර පානයන් ගොඩ ගසති. පිරිකර ගොඩ ගසති. ඔහුට විසීම සඳහා බොහෝ ගිහියන්ට ද නැති තරමේ, සුවපහසු ඇති ලස්සන ගෙවල් තනා දෙති. ඉන්පසු කුහක මහණ එහි වෙසෙමින් සුවසේ කල් යවයි. මේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් බොහෝ ප්‍ර‍ත්‍යය ලබා ගන්නා ආකාරය ය.

තමා කෙරෙහි නැති උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වූ ධ්‍යාන අභිඥා මාර්ගඵල ධර්මයන් ඇති බව ප්‍ර‍කාශ කළ හොත් එයින් භික්ෂුව පරිජි ඇවතට පැමිණේ. ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය වුව ද අනුපසම්පන්නයකු කිවහොත් පචිති ඇවැත් වේ. කුහක භික්ෂුව ඇවැත්වලට අසු නොවන පරිදි තමා උත්තරීමනුෂ්‍ය ධර්ම ඇත්තකු සේ ගිහියන්ට හැඟෙන පරිදි වටින් පිටින් කතා කරයි. ධ්‍යානලාභී සෘද්ධිබල ඇතියෝ අප වැනි අය ම ය. මෙවැනි සිවුරු පොරවා සිටින අය ය. මෙවැනි තැන්වල වෙසෙන අය ය. අපගේ උපදෙස් අනුව ධ්‍යාන ලබා සිටින අය, සෝවාන් වී සකෘදාගාමී වී අනාගාමී වී රහත් වී සිටින අය බොහෝ ඇත්තාහ. අප ආචාර්‍ය්‍යයන් වහන්සේගේ ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ධ්‍යානලාභීහු ය. සෝවාන් පුද්ගලයෝ ය, සකෘදාගාමීහුය, අනාගාමීහුය, රහත්හුය යනාදීන් ගිහියන් හමුවෙහි කථා කරයි. එය අසන ගිහියෝ මුන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නො වෙතිය, මුන්වහන්සේත් උසස් තත්ත්වයක් ඇති කෙනෙක් විය යුත්තෝ ය යි සිතා උපස්ථාන කරති. බොහෝ චීවරාදි ප්‍ර‍ත්‍යයන් පිරිනමති. මේ වටින් පිටින් කථා කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබන ආකාරය ය.

කිසි කුහක පැවිද්දෙක් ලාභාශාවෙන් තමා ධ්‍යාන ලාභියකු සේ ආර්‍ය්‍යපුද්ගලයකු සේ දක්වා ජනයන් රවටනු පිණිස ගමනාදි ඉරියව් පවත්වයි. ඔහු මිනිසුන් පැහැදවීම පිණිස, ලාභාපේක්ෂාවෙන් “මා රහත් කෙනෙකැයි සිතත්වා” යි අති ශාන්ත භාවයක් දක්වමින් බිම බලා ගෙන සෙමින් ගමන් කරයි. කය සෘජු ව තබා නිශ්චලව හිඳී. සිංහ සෙය්‍යාවෙන් ශයනය කරයි. ගමන් කරන කල්හි මිනිසුන් හමු වුව ද ඔවුන් දෙස නොබලයි. ඔවුන් හා කථා නොකරයි. හිඳින විට මිනිසුන් පැමිණියේ ද ඇස පියා ගෙන ඔවුන් දෙස නො බලමින් කථා නො කරමින් සිටී. මිනිසුන් එසේ සිටින භික්ෂුව මහ සිල්වතෙක, සමාධිලාභියෙකැ යි සිතා වඩ වඩා ඒ භික්ෂුවට පූජා සත්කාර කෙරෙති. මේ ඉරියව් පැවැත්වීමෙන් මිනිසුන් රවටා ප්‍ර‍ත්‍යය ලබන ආකාරය ය.