33. සීලවිපත්ති 34. දිට්ඨි විපත්ති

පාණාතිපාත අදින්නාදාන කාමේසුමිච්ඡාචාර මුසාවාද පිසුණාවාච ඵරුසාවාච සම්ඵප්පලාප යන පව්කම් සත කිරීම සිලවිපත්ති නම් වේ. විනය ක්‍ර‍මයෙන් කියත හොත් පාරාජිකා සංඝාදිසේස ඇවැත්වලට පැමිණීම සීලවිපත්තිය ය

සම්‍යග්දෘෂ්ටිය නසන වැරදි දැකීම දිට්ඨි විපත්ති නම් වේ.

“නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකත දුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති.”

යනුවෙන් දැක්වෙන දීමෙන් වන විපාක නැත. පැමිණෙන සැමට ම දෙන මහා දානවලින් වන විපාකයක් නැත. ආරාධනා කොට ගෙන්වා දීම පැමිණෙන ආගන්තුකයන්ට දීම මංගල්‍ය පිණිස දීම යන මේවායේ විපාකයක් නැත. පින්පව් වලින් වන විපාකයක් නැත. පරලොව සිටින්නවුන් මෙලොවට එන්නේ ද නැත. මෙලොව සිටින්නවුන් පරලොව යන්නේ ද නැත මවට කරන හොඳ නො හොඳින් වන විපාකයක් නැත. පියාට කරන හොඳ නො හොඳින් වන විපාකයක් නැත. මැරී නැවත උපදින්නෝ නැත. නිර්වාණයට අනුකූල ප්‍ර‍තිපදාවක් පුරන තමන් විසින් ඇති කර ගත් විශිෂ්ඨ ඥානයකින් මෙලොවත් පරලොවත් ප්‍ර‍කාශ කරන ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ නැතය යන දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය දිට්ඨිවිපත්තිය ය. සාමාන්‍යයෙන් සියලුම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨි විපත්තිය ය.