ගමට දුර ආරණ්‍ය සේනාසනවල, විවේක සේනාසන වල, විසීමට හා සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමට සතුටක් නැති බව අරති නම් වේ. මෙය සූක්ෂ්ම ද්වේෂයකි. මෙය පිළිවෙත් පුරනු පිණිස අරණ්‍ය සේනාසනයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට හෝ භාවනාව සඳහා වෙනත් තැනකට හෝ ගිය අයට ඇති වන ක්ලේශයෙකි. ශ්‍රද්ධාව මඳ බව, නුවණ මඳ බව, නූගත් බව, ආහාරපාන දුර්වලත්වය, මැසි මදුරු ආදී කරදර කරන සතුන් බහුල බව, චණ්ඩ මෘගයන් සමීපයේ හැසිරීම, අමනුෂ්‍යයන් ඇති බව, ශබ්ද කරන සතුන් බහුල බව, වීර්‍ය්‍ය මඳ බව, ඇසුරු කිරීමට සුදුස්සන් නැති බව, ඥාති මිත්‍රයන් සිහි වන බව, බොහෝ දෙනා හා එක්ව විසීමේ ආශාව, ඇවිදීමේ ආශාව යනාදිය අරතිය ඇති වීමේ හේතු ය. අරතිය යෝගාවචරයන්ට ඉමහත් බාධක ධර්මයෙකි. එය පොහෝ දිනයන් හි සිල් සමාදන් වන උපාසකෝපාසිකාවන්ට ද බාධක ධර්මයෙකි. අරතිය ද එක්තරා වඤ්චක ධර්මයෙකි. අරතියට ප්‍රධාන හේතුව අශ්‍රද්ධාව ය. අශ්‍රද්ධාව නිසා අරතිය ඇති වූ යෝගාවචරයාට ආහාර පාන ලැබීම මඳ නිසා මෙතැන වාසය නො කළ හැකි ය, භාවනා නො කළ හැකිය, මදුරුවන් වැඩි නිසා සර්පයන් වැඩි නිසා මෙහි නො විසිය හැකිය යනාදී අදහස් පහළ වේ. එයින් ඔහු විවේකස්ථාන හැර භාවනාව හැර යයි. අරතිය ඇති තැනැත්තා භාවනා කළ ද ඔහු එය අලස කමින් මැනවින් නො කරන බැවින් ඔහුට සමාධි ප්‍රඥාවෝ නො වැඩෙති. බොහෝ කල් භාවනා කළ ද එකම තත්ත්වයේ සිටී. භාවනාවට ලොකුම සතුරා අරතිය ය. එය භාවනාරාමතා නමැති ආර්‍ය්‍යවංශ ධර්ම ඇති කර ගැනීමෙන් දුරු කර ගත යුතු ය. භාවනාරාමතාව, සත්පුරුෂ සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඇති කර ගත හැකි ය.
ඇතැම්හු බැණීමෙන් තර්ජනයෙන් ගල්මුල්වලින් කෝටුවලින් පොලුවලින් ආවුධ වලින් අන්‍යයන්ට හිංසා කරති. මහල්ලන් රෝගීන් අංගවිකලයන් මෝඩයන් පිස්සන් දුටු විට විනෝද පිණිස ඔවුනට කරදර කරති. බැඳ තැබීමෙන් කූඩු වල සිරකර තැබීමෙන් සතුන්ට හිංසා කෙරෙති. එසේ කරන ස්වභාවය විහේසා නම් පාපධර්මය ය.
කයින් පව් කම් කිරීම වචනයෙන් පව් කම් කිරීම සිතින් පව් කම් කිරීම අධම්මචරියා නම් වේ. මාපියන්ට ගුරුවරුන්ට වැඩිමහල්ලන්ට පැවිද්දන්ට උපකාර කළවුන්ට නො සලකා හැරීම හා යුතුකම් ඉටු නො කිරීම ද අධම්මචරියා නම් වේ.