21. චීවරහේතු වා භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
22. පිණ්ඩපාත හේතු වා භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
23. සේනාසන හේතු වා භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
24. ඉති භවාභව හේතු වා භික්ඛුනෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
භික්ෂුවහට සිවුරු නිසා තණ්හාව උපදී.
භික්ෂුවහට පිණ්ඩපාතය නිසා තණ්හාව උපදී.
භික්ෂුවට සෙනසුන නිසා තණ්හාව උපදී.
භික්ෂුවට තෙල් ගිතෙල් මී පැණි සකුරු ආදි ප්‍රණීත වස්තූන් නිසා තණ්හාව උපදී.
මේ තණ්හුප්පාද සතර ය.
තථාගතයන් වහන්සේගේ දේශනාව පුද්ගලාධිෂ්ඨාන දේශනාවය. ධර්මාධිෂ්ඨාන දේශනාව යයි දෙ පරිදි වේ. පුද්ගලයා ප්‍රධාන කොට පුද්ගලයාට ධර්මය දක්වන දේශනාව පුද්ගලාධිෂ්ඨාන දේශනාවය. පුද්ගලයා නො ගෙන ධර්මය පමණක් ගෙන කරන දේශනාව ධර්මාධිෂ්ඨාන දේශනාව ය. තණ්හුප්පාද දේශනාව පුද්ගලාධිෂ්ඨාන දේශනාවකි. අභිධර්ම පිටකයෙහි පුද්ගලාධිෂ්ඨාන දේශනා විරලය. සූත්‍ර පිටකයෙහි පුද්ගලාධිෂ්ඨාන දේශනා බහුලය. තණ්හුප්පාද සතර ධර්මාධිෂ්ඨාන ක්‍රමයෙන් කියතහොත් කිය යුත්තේ මෙසේය.
භික්ඛුනෝ චීවර හේතු උප්පජ්ජමානා තණ්හා.
භික්ඛුනෝ පිණ්ඩපාත හේතු උප්පජ්ජමානා තණ්හා.
භික්ඛුනෝ සේනාසන හේතු උප්පජ්ජමාන තණ්හා.
ඉති භවාභව හේතු වා භික්ඛුනෝ උප්පජ්ජමානා තණ්හා.
මෙය සිංහලෙන් කිය යුත්තේ මෙසේය. භික්ෂුවට සිවුරු නිසා උපදනා තණ්හාව එක් ක්ලේශයෙකි. භික්ෂුවට පිණ්ඩපාතය (ආහාරය) නිසා උපදනා තණ්හාව එක් ක්ලේශයෙකි. භික්ෂුවට සේනාසනය නිසා උපදනා තණ්හාව එක් ක්ලේශයෙකි. ප්‍රණීත තෙල් ගිතෙල් මී පැණි සකුරු ආදිය නිසා උපදනා තණ්හාව එක් ක්ලේශයෙකි.
භික්ෂුවට ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් ලබා උසස් තත්ත්වයට පැමිණීමට ඇති මහත් බාධාව මේ තණ්හා හතර ය. බුදුන් වහන්සේ විසින් ආර්‍ය්‍යවංශ ධර්ම සතර දේශනය කර ඇත්තේ මේ තණ්හා සතර ප්‍රහාණ කළ හැකි වීම පිණිසය. ආර්‍ය්‍යවංශ ධර්මය බුදු සසුනේ උසස් ධර්මයෙකි. ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව උසස් ප්‍රතිපදාවකි. ආර්‍ය්‍යවංශ ධර්මය ත්‍රිපිටකය ම ඇතුළුවන ධර්මයෙකි. අතීතයේ බොහෝ විහාරයන්හි වර්ෂයකට වර බැගින් ආර්‍ය්‍යවංශ ධර්මය දේශනය කිරීමේ සිරිතක් පැවති බව අටුවාවල එන කථාවලින් පෙනේ. එය ඇසුමට ද බොහෝ ජනයා පැමිණෙන බව ද කියා තිබේ. විස්තර වශයෙන් ආර්‍ය්‍යවංශධර්මය අංගුත්තර නිකාය චතුෂ්ක නිපාතයෙහි හා එහි අටුවාවෙන්න ද බලා ගත යුතුය. එය සැකෙවින් මෙසේ ය:-
ඝන වූ හෝ සියුම් වූ හෝ රළු වූ හෝ මෘදු වූ හෝ අලුත් වූ හෝ පරණ වූ හෝ යම්කිසි ලද චීවරයකින් සතුටු වීම, තණ්හාවෙන් තොරව චීවරය පරිභෝග කිරීම, නො මනා සිවුරු නිසා නො සතුටු නොවීම පළමුවන ආර්‍ය්‍යවංශ ධර්මය ය.
ප්‍රණීත වූ හෝ රූක්ෂ වූ හෝ බොහෝ වූ හෝ මඳ වූ හෝ ලද පිණ්ඩපාතයකින් සතුටු වීම, තණ්හාවෙන් තොරව පිණ්ඩපාතය පරිභෝග කිරීම, පිණ්ඩපාතය නො ලැබීම හෝ නො මනා පිණ්ඩපාතයක් ලැබීම ගැන හෝ නො සතුටට පත් නොවීම දෙවන ආර්‍ය්‍යවංශ ධර්මය ය.
ලෑලි ඇඳක් හෝ වැල් ඇඳක් හෝ වියන් ඇඳක් හෝ පැදුරක් හෝ මෙට්ටයක් හෝ අතු පැළක් හෝ ගුහාවක් හෝ ප්‍රාසාදයක් හෝ ලද නම්, ලද සෙනසුනෙන් සතුටු වීම, සෙනසුන ගැන දොම්නසට නො පැමිණීම, තණ්හාවෙන් තොර ව සෙනසුන පරිභෝග කිරීම තුන්වන ආර්‍ය්‍යවංශ ධර්මය ය.
භාවනාවෙහි යෙදී විසීමේ සතුට, ක්ලේශ ප්‍රහාණයෙහි යෙදී විසීමේ සතුට, සතර වන ආර්‍ය්‍යවංශ ධර්මයය. තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙමින් කළ මහා ආර්‍ය්‍යවංශ සූත්‍ර දේශනය අසා සතළිස් දහසක් භික්ෂූහු සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූහ.