61. රාගග්හි
62. දෝසග්ගි
63. මෝහග්ගි
සාමාන්‍යයෙන් සියලුම ක්ලේශයන්හි දවන ස්වභාවය ඇත්තේ ය. රාගය ද්වේෂය මෝහය යන මේ කෙලෙස් තුනෙහි වඩාත් දවන ස්වභාවය ඇත්තේ ය. එබැවින් රාගය රාගග්ගි නම් වේ. ද්වේෂය දෝසග්ගි නම් වේ. මෝහය මෝහග්ගි නම් වේ. රාගාදිය යම් සන්තානයක ඇති වූයේ නම් ඒ සන්තානය දවයි. රාගාදීන්ගේ ද නොයෙක් ප්‍රමාණ ඇත්තේ ය. දුබල වූ මඳ වූ රාගාදියෙහි දැවීම ඇත ද එය අප්‍රකට ය. බලවත් වූ රාගය සමහර විට පුද්ගලයා දවා මරයි. ඒ බව මේ කතා වලින් දත යුතු ය.
එක් තරුණ භික්ෂුණියක් සිතුල්පව් විහාරයේ පෝයට ගෙට ගොස් එහි වූ දොරටුපල් රුවක් දෙස බලා හුන්නා ය. ඇයට ඒ රූපය දැකීමෙන් බලවත් රාගය උපන්නේ ය. ඒ මෙහෙණිය ඇය තුළ ඇවිලුණු රාග ගින්නෙන් දැවී එ තැන සිට ගෙන ම කළුරිය කළා ය.
(විභංගට්ඨකථා)
එක් දවසක් සද්ධාතිස්ස රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා විහාරයට ආයේ ය. එක් තරුණ භික්ෂුවක් ලෝහප්‍රාසාද ද්වාරයේ සිට ඒ ආ එක් ස්ත්‍රියක් දෙස බැලීය. ඒ ස්ත්‍රිය ද ගමන නවතා භික්ෂුව දෙස බැලීය. දෙදෙනා තුළ ම ඔවුනොවුන් කෙරෙහි බලවත් රාගය උපන්නේ ය. ඒ රාග ගින්නෙන් දැවී දෙදෙනා ම එතැන ම මළහ.
(මනෝරථපූරණී.)
කැලණි විහාරයේ එක් තරුණ භික්ෂුවක් උගෙනීම පිණිස කාළදීඝවාපිගාමද්වාර විහාරයට ගොස් උගෙනීම නිම කොට පෙරළා යන්නේ විහාරයේ සාමණේරයන් විසින් ඇසුව හොත් ගමේ ආකාරය කිය යුතු වන්නේ යයි ඒ ගමෙහි පිඬු පිණිස හැසිරෙනුයේ එහි එක් ස්ත්‍රියක කෙරෙහි ඇල්ම ඇති කර ගෙන විහාරයට ගියේ ය. ඒ ස්ත්‍රිය මැරී ඇය හැඳ සිටි වස්ත්‍රය භික්ෂූන්ට ලැබිණි. ඇය කෙරෙහි පෙම් බැඳ සිටි තරුණ මහණ ඒ වස්ත්‍රය දැක හැඳින භික්ෂූන්ගෙන් තොරතුරු අසා ඇය මළ බව දැන ඇය ගැන ඇති වූ රාගාග්නියෙන් දැවී කළුරිය කෙළේ ය.
(මනෝරථපූරණී)
ද්වේෂය තදින් ඇති වූ කල්හි ඇඟ රත් වී ඩහදිය ගලනු පෙනේ. වෙව්ලනු පෙනේ. ශරීර වර්ණය වෙනස් වී තිබෙනු පෙනේ. ඒ විකාරයන් වන්නේ ද්වේෂාග්නියෙන් දැවීමෙනි. මිනිස් ලොව ද්වේෂාග්නියෙන් දැවී මැරෙනුවන් ගැන අසන්නට නැත. බියෙන් ශෝකයෙන් මැරෙනුවන් ගැන අසන්නට ලැබේ. බිය කියනුයේ ද ඒ ආකාරයෙන් ඇති වන ද්වේෂයට ම ය. ශෝකය ඇති වන්නේ ද තැවෙන ආකාරයෙන් ඇති වන ද්වේෂය සමග ම ය. එබැවින් බියෙන් ශෝකයෙන් මැරෙන අය ද්වේෂාග්නියෙන් දැවී මැරෙන අය ලෙස සැලකිය හැකිය. මනෝපදූසික නම් දේව කොට්ඨාසයක් ගැන බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වේ. ඔවුන් සමහර විට එකිනෙකාට ද්වේෂ කර ද්වේෂාග්නියෙන් දැවී මැරෙන බව කියා තිබේ. මෝහය සත්ත්වයන් දවන්නේ රාග ද්වේෂ දෙක හා එක්වීමෙනි. මෝහයෙන් තොර වූ රාග ද්වේෂයෝ නූපදිති. මේ ගිනි තුන පිළිබඳ ව ඉතිවුත්තකයේ එන දේශනාවක් මෙසේ ය :-
1. රාගග්ගි දහති මච්චේ නරේ කාමාධිමුච්ඡිතේ,
දෝසග්ගි පන බ්‍යාපන්නේ නරේ පාණාතිපාතිනෝ
මෝහග්ගි පන සම්මූළ්හෙ අරියධම්මේ අකෝවිදේ
.
2. ඒතේ අග්ගි අජානන්තා සක්කායාභිරතා පජා,
තේ වඩ්ඪයන්ති නිරයං තිරච්ඡානඤ්ච යෝනියෝ
අසුරං පෙත්තිවිසයං අමුත්තා මාරබන්ධනා.
.
3. යේ ච රත්තින්දිවා යුත්තා සම්මා සම්බුද්ධසාසනෙ
තේ නිබ්බාපෙන්ති රාගග්ගිං නිච්චං අසුභසඤ්ඤිනො
.
4. දෝසග්ගිං පන මෙත්තාය නිබ්බාපෙන්ති නරුත්තමං
මෝහග්ගිං පන පඤ්ඤාය යායං නිබ්බේධගාමිනී
.
5. තේ නිබ්බාපෙත්වා නිපකා රත්තින්දිව මතනන්දිතා
අසේසං පරිනිබ්බන්ති අසේසං දුක්ඛමච්චගුං
.
6. අරියද්දසා වේදගුනෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා,
ජාතික්ඛය මහිඤ්ඤාය නාගච්ඡන්ති පුනබ්භවං
තේරුම:
- රාග නමැති ගින්න කාමයන්හි මුළා වී සිටින්නා වූ ජනයන් දවයි. ද්වේෂ ගින්න වනාහි දූෂිත සිත් ඇති ප්‍රාණවධ කරන්නා වූ මිනිසුන් දවයි. මෝහ නමැති ගින්න ආර්‍ය්‍ය ධර්මය නො දන්නා වූ මුළා වී සිටින මිනිසුන් දවයි.
- ඒ ගිනි නො දන්නා වූ සක්කාය නම් වූ උපාදාන ස්කන්ධ පඤ්චකයෙහි ඇලුණා වූ මාර බන්ධනයෙන් නො මිදුණා වූ ඒ සත්ත්වයෝ නරකය ද තිරශ්චීන යෝනිය ද අසුර යෝනිය ද ප්‍රේත යෝනිය ද නැවත නැවත එහි ඉපදීම් වශයෙන් වැඩි කෙරෙත්.
- යම් කෙනෙක් සම්‍යක් සම්බුද්ධ ශාසනයෙහි රෑ දවල් දෙක්හි භාවනාවෙහි යෙදුණාහු වෙත් ද නිරතුරු අසුභසංඥාව ඇත්තා වූ ඔවුහු රාගාග්නිය නිවන්නාහුය.
- උත්තම පුද්ගලයෝ මෛත්‍රියෙන් ද්වේෂාග්නිය නිවන්නාහ. ක්ලේශස්කන්ධය නිවමින් පවත්නා වූ යම් ඒ ප්‍රඥාවක් වේ ද එයින් මෝහාග්නිය නිවන්නාහ.
- නුවණැත්තා වූ රෑ දවල් දෙක්හි අනලස වූ ඒ නරෝත්තමයෝ කෙලෙස් ගිනි නිවා අනුපාදිශේෂ වශයෙන් පිරිනිවෙන්නාහ. ඔවුහු සකල සංසාරදුඃඛය ඉක්මවූහ.
- ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද චතුස්සත්‍ය ධර්මය දුටුවා වූ නුවණින් සංසාරයාගේ කෙළවරට ගියා වූ පණ්ඩිතයෝ දත යුතු කුශලාදි ධර්මයන් මැනවින් දැන ජාතික්ෂයය වූ නිවන මැනවින් දැන නැවත භවයට නොම එන්නාහ.