චත්තාරි අගතිගමනානි:

21. ඡන්දාගතිං ගච්ඡති

22. දෝසාගතිං ගච්ඡති

23. මෝහාගතිං ගච්ඡති

24. භයාගතිං ගච්ඡති

අගති යනු නො කළ යුත්ත කිරීම ය. ආර්‍ය්‍යයන් නො කරන අනාර්‍ය්‍යයන් කරන ලාමක වැඩ කිරීම ය. නෑකමක් හෝ මිතුරු කමක් හෝ හැඳුනුම්කමක් හෝ අල්ලසක් හෝ නිසා විනිශ්චය කිරීමේදී වාසි කිරීම, අහිමි දෙය හිමි කර දීම ඡන්දාගති නම් ක්ලේශය ය. එය ඒ ආකාරයෙන් පවත්නා තණ්හාව ය. විනිශ්චය කිරීමේ දී මොහු මාගේ සතුරෙක් ය කියා කලක පටන් පවත්නා වෛරයක් නිසා හෝ එකෙණෙහි ඇති වූ කෝපය නිසා හෝ නිවැරදි කරුවකුට වරද ආරෝපණය කිරීම, හිමි දෙයක් අහිමි කිරීම දෝසාගති නම් ක්ලේශය ය. එය ධර්ම වශයෙන් ද්වේෂය ය. වරදකරු නිවරදකරු තේරුම් ගැනීමට සමත් හිමිකම් අහිමිකම් තේරුම් ගැනීමට සමත් නුවණ නැති බැවින් හෝ කාරණය නිසි ලෙස නො විමසීමෙන් හෝ නිවැරදිකරුවකු වරදකරු කිරීම, වරදකරුවකු නිදහස් කිරීම, යමක් අහිමියකුට හිමි කිරීම, හිමියකුට අහිමි කිරීම මෝහගති නම් කලේශය ය. එය ධර්ම වශයෙන් මෝහය ය. මොහු නපුරෙක, උසස් නෑ මිතුරන් ඇතියෙක. මැති ඇමතිවරුන්ගේ මිතුරෙක, මොහුට අවාසි වුව හොත් මොහුගෙන් විපත් පැමිණිය හැකි යයි භයින් වරදින් නිදහස් කිරීම, අහිමි දෙය හිමි කර දීම භයා ගති නම් ක්ලේශය ය. ධර්ම වශයෙන් වනාහි ඒ ආකාරයෙන් පවත්නා ද්වේෂය ය.

සංඝ ලාභය සැමට ම සම සේ බෙදා දිය යුතුය. යමෙක් සංඝ ලාභයක් බෙදීමේදී මොහු මගේ මිතුරෙක හිතවතෙක නෑයෙක කියා යමෙකුට වැඩි කොට හෝ වටනා දේ හෝ තෝරා දීම ඡන්දාගතිය ය. පවත්නා වෛරයක් නිසා හෝ එකෙණෙහි හටගත් ද්වේෂය නිසා හෝ අඩු කොට දීම නො මනා භාණ්ඩ තෝරා දීම දෝසාගතිය ය. බඩුවල හොඳ නරක නො දැනීම නිසා හෝ දුන් නුදුන් අය නො දැනීම නිසා හෝ අසාධාරණ ලෙස බෙදා දීම මෝහාගතිය ය. මොහුට මඳක් හෝ වැඩි කොට නුදුන හොත් වටනා දෙයක් නුදුන හොත් විපත් පැමිණිය හැකියයි බියෙන් වැඩිකොට දීම, වටිනා දේ තෝරා දීම භයාගතිය ය.

ඡන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං අතිවත්තති.

නිභීයති තස්ස යසෝ - කාළපක්ඛෙව චන්දිමා

.

ඡන්දා දෝසා භයා මෝහා - යෝ ධම්මං නාතිවත්තති.

ආපුරති තස්ස යසෝ - සුක්ඛපක්ඛෙව චන්දිමා

ඡන්දයෙන් ද්වේෂයෙන් භයින් මෝහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවා ද ඔහුගේ යසස කාළ පක්ෂයේ චන්ද්‍ර‍යා මෙන් පිරිහෙන්නේ ය.

ඡන්දයෙන් ද්වේෂයෙන් භයින් මෝහයෙන් යමෙක් ධර්මය නො ඉක්මවා ද ඔහු ගේ යසස ශුක්ල පක්ෂයේ චන්ද්‍ර‍යා මෙන් වැඩෙන්නේ ය.