19. සක්කායදිට්ඨි
20. විචිකිච්ඡා
21. සීලබ්බතපරාමාස
මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.
- රූපං අත්තතෝ සමනුපස්සති.
- රූපවන්තං අත්තානං සමනුපස්සති.
- අත්තනි වා රූපං සමනුපස්සති.
- රූපස්මිං වා අත්තානං සමනුපස්සති.
1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.
2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.
3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.
4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.
වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.
ඇතැම් දෘෂ්ටීන් ඇති වන්නේ සත්ත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනා කිරීමෙන් හෝ උගෙනීමෙනි. සත්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය එසේ ඇති වන්නක් නොව එය සැමට ම උත්පත්තියේ පටන් ස්වභාව ධර්මයඅ ැනුව ඇති වන දෘෂ්ටියකි. කොතරම් මෝඩයකු වුවත් සත්කාය දෘෂ්ටිය ඇත්තේ ය. ඉතා මඳ දැනුමක් ඇති තිරිසන් සතුන්ට ද එය ඇත්තේ ය. සත්ත්වයන් විසින් මම ය කියා සලකන දෙය සත්‍ය වශයෙන් ම ඇත්තේ නම් එය උත්පත්තියේ පටන් මරණය දක්ා හෝ සංසාරය දිගට ම හෝ පවත්නා දෙයක් විය යුතු ය. එය එක් පුද්ගලයකුට එක බැගින් පමණක් තිබිය යුතු ය. එක් පුද්ගලයකුට ආත්ම දෙක තුනක් සතර පහක් නො තිබිය යුතු ය. මෙය මම යයි කියන්නවුන්ට මමය කියා ස්ථිර එක් දෙයක් නැත. වරින් වර එය වෙනස් කර වෙන වෙන දෙයට මම යයි කියති. එහෙත් ඒ බව ඔවුහු නො දනිති. මම සැම කල්හි මම ම විය යුතු ය. එය කිසි කලෙක මාගේ නො විය යුතුය. මම හා මාගේ දෙක දෙකක් ම විය යුතු ය. රූපකය ගමනාදි ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම දනිමි, මම දෙමි, මම ගනිමි, මම කමි, මම බොමි යි රූපකය ආත්ම වශයෙන් ගෙන කථාකරන තැනැත්තා තවත් වරකදී මගේ ඇඟ පණ නැත, මගේ ඇඟ කෙට්ටුය, මගේ ඇඟ රිදෙනවා ය, මගේ ඇඟට ශීතලය, මගේ ඇඟේ ඩහදිය ය යනාදීන් කලින් මමය යි ගත් ඇඟ මාගේ කොට කථා කරයි. ඇඟ මාගේ යයි කීමෙන් දැක්වෙන්නේ එය මම නො වන බව ය. මෙසේ වරින් වර ආත්මය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනි.
වැරදි දැකීමක් වන මේ සත්කාය දෘෂ්ටිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පව්කම් වලට මුලකි. පඤ්චස්කන්ධය ම ඒ ඒ අතට හරවමින් මම ය යි සලකන්නහුට ඒ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති වෙනවාය කියත හොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නො වේ. මාගේ බිරියය මාගේ පුතා ය මාගේ දූ ය මාගේ ගේය යනාදීන් අන් දේවලට තණ්හාව ඇතිවන්නේ මම යන දෘෂ්ටිය ඇති නිසා ය. මේ දෘෂ්ටිය සංසාර ප්‍රවෘත්තියට බලවත් හේතුවකි. එය ඇති තාක් සත්ත්වයාට විමුක්තිය නො ලැබිය හැකි ය. සත්කාය දෘෂ්ටියෙහි ඇති නපුර නිසා,
සත්තියා විය ඔමට්ඨෝ - ඩය්හමානේ ව මත්ථකෙ
සක්කායදිට්ඨිප්පහාණාය - සතෝ භික්ඛු පරිබ්බජේ
(සංයුක්ත නිකාය)
යනු වදාරන ලදී.
සැතකින් පහර ලැබූවකු මෙන් ද, හිස ගිනි ගත්තකු මෙන් ද අන් සියල්ල හැර සත්කාරය දෘෂ්ටිය ප්‍රහාණය කරනු පිණිස උත්සාහ කළ යුතුය යනු එහි අදහස ය.