අට්ඨ අසඤ්ඤි වාදා:

49. රූපී අත්තා හෝති. අරෝගෝ පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති.

50. අරූපී අත්තා -පෙ-

51. රූපී ච අරූපී ච -පෙ-

52. නේවරූපී නාරූපී -පෙ-

53. අන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති

54. අනන්තවා අත්තා හෝති -පෙ-

55. අන්තවා ච අනන්තවා ච අත්තා හෝති -පෙ-

56. නේවන්තවා නානන්තවා අත්තා හෝති -පෙ-

අසංඥ ආත්මයක් ඇතයයි ගන්නා දෘෂ්ටිවාද අටෙකි. මරණින් මතු ද රූපවත් ආත්මයක් නො නැසී පවතීය, එය අසංඥී ය යි ගන්නා එක් වාදයෙකි. ධ්‍යාන ලාභීන්ට කසිණ රූපය ආත්මය යි ගැනීම් වශයෙන් මේ දෘෂ්ටිය ඇති වේ. ධ්‍යාන නැතියෝ තර්කමාත්‍රයෙන් ඒ දෘෂ්ටිය ගනිති. ඇතැම් ධ්‍යානලාභීහු අරූපධ්‍යාන නිමිත්ත ආත්ම වශයෙන් ගෙන එය අසංඥීයයි කියති. ධ්‍යාන නැතියෝ තර්කමාත්‍රයෙන් අරූපී ආත්මය මරණින් මතු ඇතය යි කියති. ඒ ආත්මය අසඤ්ඤීය යි ද කියති. මේ එක් දෘෂ්ටියෙකි. රූපවත් වූ ද අරූපී වූ ද ආත්මයක් මරණින් මතු නොනැසී ඇත. එය අසංඥීය යි කීම එක් දෘෂ්ටි වාදයෙකි. මේ දෘෂ්ටිය රූපාවචර අරූපාවචර සමාපත්ති දෙවර්ගය ම ඇතියන්ට හා තාර්කිකයන්ට ද ඇති වේ. මරණින් මතු රූපයක් ඇත්තේ ද නැත්තේ ද නො වන ආත්මයක් නො නැසී ඇත. එය අසංඥීය යනු එක් දෘෂ්ටිවාදයෙකි. එය තාර්කිකයන් හට ම ඇති වන දෘෂ්ටියකි.

මරණින් මතු අන්තවත් ආත්මයක් නො නැසී ඇත. එය අසංඥීය යනු එක් දෘෂ්ටි වාදයෙකි. එය කුඩා වූ කසිණ නිමිත්ත ආත්මය යි ගන්නවුන්ට ඇති වන දෘෂ්ටියකි. අනන්තවත් ආත්මයක් මරණින් මතු ද නො නැසී ඇත. එය අසංඥීය යි ගැනීම එක් දෘෂ්ටි වාදයකි. ප්‍ර‍මාණයක් නො ගත හැකි පමණට මහත් කසිණ නිමිත්ත ඇති ධ්‍යානලාභීන්ට මේ දෘෂ්ටිය ඇති වේ. මරණින් මතු ද නො නැසී පවතින ආන්තවත් ද අනන්තවත් ද වූ ආත්මයක ඇත. එය අසංඥීය යි ගෙන කීම එක් දෘෂ්ටිවාදයෙකි. එය උඩ යට දෙකින් පර්ය්‍යන්ත ඇති සරසින් පර්ය්‍යන්තයක් නැති කසිණ නිමිත්ත ඇතියන්ට ඇති වන දෘෂ්ටියෙකි. මරණින් මතු අන්තවත් ද නො වූ අනන්තවත් ද නො වූ ආත්මයක් නො නැසී ඇත. එය අසංඥීය යි පැවසීම එක් දෘෂ්ටි වාදයෙකි. එය තාර්කිකයන්ට ඇතිවන දෘෂ්ටියෙකි.

අට්ඨ නේවසඤ්ඤි නාසඤ්ඤි වාදා:

57. රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්ඤි නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති.

58. අරූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණා -පෙ-

59. රූපී ච අරූපී ච අත්තා හෝති -පෙ-

60. නේවරූපි නාරූපී අත්තා හෝති -පෙ-

61. අන්තවා අත්තා හෝති -පෙ-

62. අනන්තවා අත්තා හෝති -පෙ-

63. අන්තවා ච අනන්ත්වා ච අත්තා හෝති -පෙ-

64. නේවන්තවා නානන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා නේවසඤ්ඤි නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති.

මේ නේවසංඥීවාද අට ඉහත කී අසංඥීවාද අටට සමාන ය. වෙනස ආත්මය අසංඥී නො ව නේවසඤ්ඤී නාසඤ්ඤීය යි කීම පමණෙකි. එහි තේරුම මරණින් මතු ඇති ආත්මය සංඥාව ඇත්තේ ද නො වන නැත්තේ ද නො වන දෙයක් ය යනුයි.

මේ අෂ්ටක වශයෙන් දැක්වෙන ධර්ම සිවු සැටය.

අෂ්ටක නිර්දේශය නිමියේ ය.

_______