අසන්නාට අප්‍රිය, අසන්නාගේ සිත රිදෙන නොමනා කථා කරන බව අසාඛල්ල නම් වේ. මේ අසාඛල්ලය මානයත් ද්වේෂයත් ය. ඇතැම්හු තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන මානය නිසා ද ඇතැම්හු අනුන් ගැන ඇති නො සතුට ද්වේෂය නිසා ද නොමනා කථා කෙරෙති. තෝ බොල අරූ මූ ඕකා මේකා ලොක්කා නාකියා වර පල දුවපිය කාපිය බීපිය යනාදි වශයෙන් කරන කථා අසන්නවුන්ට අප්‍රිය අමිහිරි කථා ය. කථාවෙහි මහා බලයක් ඇත්තේ ය. වචනවල බලයෙන් අසන්නවුන්ට නො සතුට සතුට කෝපය භය ආදි නොයෙක් දේ ඇති වේ. කෙනකුගේ සිත යම්කිසි අලාභයක් කිරීමෙන් රිදවනවාට වඩා වචනයෙන් රිදවිය හැකි ය. යම්කිසිවක් දීමෙන් සතුටු කරනවාට වඩා වචනයෙන් සතුටු කරවිය හැකිය. ඒ වචනයේ බලය ය. නො මනා කථා කරන තැනැත්තා ජනයාට අප්‍රිය ය. එයින් ඔහු පිරිහේ. ප්‍රිය වචනයට මිනිසුන් තබා දෙවියෝ ද නැමෙති. යහපත් කථා ඇතියහුට සෑම තැනම මිතුරෝ ය. වියදමක් නැතිව අනුන්ගේ සිත් සතුටු කරවීමට අනුන්ගෙන් වැඩ ගැනීමට උපකාර ලැබීමට ඇති හොඳම උපාය යහපත් කථාව ය. යහපත් කථා ඇති බව බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයෙකි.
පටිසන්ථාර නම් වූ උත්තම ගුණයක් ඇත්තේ ය. එයට විරුද්ධ ස්වභාවය අප්පටිසන්ථාර නම් වේ. එය දුර්ගුණයකි. කා බී සුඛිතව සිටින පුද්ගලයාගේ හා සාගින්නේ සිටින පුද්ගලයාගේ වෙනසක් ඇත. පරතරයක් ඇත. වෙහෙසට පත්ව සිටින පුද්ගලයාගේ හා සුවසේ සිටින පුද්ගලයා ගේ වෙනසක් ඇත. රෝගී පුද්ගලයාගේ හා නිරෝගී පුද්ගලයාගේ වෙනසක් ඇත. වස්ත්‍ර ඇති පුද්ගලයාගේ හා නැති පුද්ගලයාගේ වෙනසක් ඇත. උගත් පුද්ගලයාගේ හා නූගත් පුද්ගලයාගේ වෙනසක් ඇත. මෙසේ පුද්ගලයන් අතර බොහෝ වෙනස්කම් පරතර ඇත්තේ ය. තමා හා අන්‍යයන් අතර ඇති වෙනස්කම් නැති කිරීමේ කැමැත්ත, නැති කිරීම සඳහා ක්‍රියා කිරීම “පටිසන්ථාර” නම් වූ ගුණය ය. තමා හා අන්‍යයන් අතර ඇති වෙනස නැති කිරීමට නො කැමැත්ත, ඒ සඳහා ප්‍රිය නොකිරීම අප්පටිසන්ථාරය ය. ගිහි පැවිදි කවුරුනුත් මේ පටිසන්ථාර ගුණය පැවැත්විය යුතුය. තමාගේ නිවසට අමුත්තකු පැමිණිය හොත් ආදරයෙන් පිළිගෙන ඔහුට සුදුසු සංග්‍රහ කිරීම, සාගින්නෙන් පෙළෙන්නකු පැමිණියහොත් ආහාරයක් දීම, පිපාසිතයකු පැමිණියහොත් බීමට යමක් දීම, යම් දෙයක් ඉල්ලීමට පැමිණියහොත් ඒ දෙය දීම, යමක් දැන ගැනීමට පැමිණිය හොත් එය කියා දීම පටිසන්ථාරය ය.
පටිසන්ථාරය අටුවා පොත්වල විස්තර කර ඇත්තේ පැවිද්දන් අනුව ය. පටිසන්ථාර වතය, සාරාණීය වතය කියා භික්ෂූන් පුරන වත් දෙකක් ඇත්තේ ය. පටිසන්ථාරය ධම්මසංගණී අටුවාවෙහි විස්තර කර ඇත්තේ මෙසේ ය. ආමිසපටිසන්ථාරය ධම්මපටිසන්ථාරය යි පටිසන්ථාර දෙකකි. ආමිසයෙන් අන්‍යයන් තමා හා සම බවට පැමිණවීම ආමිස පටිසන්ථාරය ය. ධර්මයෙන් සම බවට පැමිණවීම ධම්මපටිසන්ථාරය ය. පටිසන්ථාරය පුරන භික්ෂුව විසින් ආගන්තුක භික්ෂුවක් එනු දැක පෙර ගමන් කොට පාසිවුරු ගත යුතුය. ආසනයක් දිය යුතුය. පවන් සැලිය යුතුය. පා සෝදා තෙල් ගැල්විය යුතුය. ගිතෙල් පැණි ඇතහොත් ගිලන්පස දිය යුතුය. පැනින් විචාළ යුතු ය. විසීමට පිළියෙල කර දිය යුතුය. එසේ කළ කල්හි ඒක දේශයකින් ආමිස පටිසන්ථාරය කරන ලද්දේ වේ. සවස් කාලයේ ආගන්තුකයා වෙත ගොස් හිඳ ඔහුට අවිෂය ප්‍රශ්න නො විචාරා ඔහුට විෂය කරුණු පිළිබඳ ප්‍රශ්න ඇසිය යුතුය. ඔබ කිනම් ග්‍රන්ථයක් උගෙන ඇත්තේ දැයි නො විචාරා ඔබ වහන්සේගේ ආචාර්යෝපාධ්‍යායයෝ කිනම් ග්‍රන්ථ පරිශීලනය කෙරෙත්දැයි අසා විසඳීමට සමත් ප්‍රශ්න විචාළ යුතුය. ඉදින් ආගන්තුකයා ඒවා විසඳීමට සමත් නො වුවහොත් තමා විසින් කියා දිය යුතුය. එසේ කළ කල්හි ඒක දේශයකින් ධම්ම පටිසන්ථාරය කරන ලද්දේ වන්නේ ය. ඉදින් ආගන්තුකයා තමා සමීපයෙහි වෙසෙන්නේ නම් දිනපතා ඔහු කැඳවා ගෙන පිඬු පිණිස හැරිය යුතුය. ආගන්තුකයා යනු කැමැත්තේ නම් පසු දින ඔහු හා එක් ගමෙක පිඬු පිණිස හැසිර පිටත් කළ යුතුය. ඉදින් යම්කිසි තැනෙක නිමන්ත්‍රණයක් ඇත්තේ නම් ආගන්තුක භික්ෂුව ද කැඳවා ගෙන යා යුතුය. ආගන්තුක භික්ෂුව එහි යාමට නො කැමති වේ නම් අන්‍ය භික්ෂූන් එහි යවා ඔහු හා පිඬු පිණිස හැසිරිය යුතු ය. තමා ලද ආමිසය ඔහුට දිය යුතු ය. එසේ කිරීමෙන් ආමිස පටිසන්ථාරය කරන ලද්දේ වන්නේ ය.
ආමිස පටිසන්ථාරකයා විසින් තමා ලද දෙය දිය යුත්තේ කා හටද? ආගන්තුකයාට දිය යුතු ය. ගිලනුන් හෝ ආවාසිකයන් හෝ ඇති නම් ඔවුනට ද දිය යුතුය. ආචාර්යෝපාධ්‍යායයන්ට දිය යුතුය. තමාගේ පිරිකර ගෙන යන භික්ෂුවට දිය යුතුය. සාරාණීය වත පුරන භික්ෂුව විසින් සිය වරක් දහස් වරක් වුව ද තමා ගෙනෙන පිණ්ඩපාතය ථෙරාසනයේ පටන් පිළිවෙලින් දිය යුතු ය. පටිසන්ථාර වත පුරන භික්ෂුව විසින් නො ලැබූ භික්ෂූන්ට දිය යුතු ය. විහාරයෙන් පිටතට ගොස් මහළු වූ හෝ අනාථ වූ හෝ භික්ෂුවක් භික්ෂුණියක් දුට හොත් ඔවුනට දිය යුතු ය.
සොරුන් විසින් ගුත්තසාල නම් ගමට පහර දුන් කල්හි නිරෝධ සමාපත්තියෙන් නැගිටියා වූ මෙහෙණක් ළදරු භික්ෂුණියක ලවා තමාගේ පිරිකර ගෙන්වා ගෙන මහජනයා හා මගට බැස මධ්‍යාහ්නයේ නකුල නගර නම් ගම් දොරට පැමිණ ගසක් මුල හිඳගෙන සිටියා ය. එසමෙහි කාලවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් වහන්සේ නකුල නගරග්‍රාමයේ පිඬු පිණිස හැසිර පෙරළා එන්නාහු තෙරණිය දැක පිණ්ඩපාතය දීමට විචාළහ. මෙහෙණිය මට පාත්‍රයක් නැතැයි කීවාය. තෙරුන් වහන්සේ මේ පාත්‍රයෙන් ම වළඳන්නය යි තමන් වහන්සේගේ ආහාර පාත්‍රය තෙරණියට දුන්හ. තෙරණි තෙරුන් වහන්සේ පාත්‍රයෙන් ම වළඳා එය සෝදා තෙරුන් වහන්සේ අතට දී, දරුව අද ඔබ පිඬු සිඟීමෙන් වෙහෙසට පත් වූවාහු ය. මෙතෙක් පටන් කිසි දිනක ඔබ වහන්සේට පිණ්ඩපාතයෙන් වෙහෙසීමක් නො වන්නේ යයි කීය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පුද්ගලයකුට දෙන දානය අතිශයින් මහත් ඵල වන බැවින් ඉන් පසු තෙරුන් වහන්සේට සැම කල්හි කහවණුවකට අඩු වටිනාකම ඇති පිණ්ඩපාතයක් නො ලැබුණේ ය. අටුවාවෙහි මේ විස්තර කර ඇත්තේ අතීතයේ විසූ භික්ෂූන් වහන්සේලා හැසිරුණු ආකාරයට ය. මේ කාලයේ පටිසන්ථාර වත පුරනවා නම් කාලය අනුව එය කළ යුතු ය. පටිසන්ථාර වත පිරීමෙන් නො ලැබූ ලාභයන් ලැබීමත් ලැබෙන ලාභය ස්ථිර වීමත් අනතුරුවලින් ගැලවීමත් සිදු වන්නේ ය.