චත්තාරි භයානි:

45. ජාති භයං.

46. ජරාභයං

47. ව්‍යාධිභයං.

48. මරණභයං

ජාතිය හෙවත් භවයෙහි ඉපදීම ගැන සිත්හි හට ගන්නා තැති ගැනීම කම්පනය ජාති භය නම් වේ. දිරීම ගැන සිත්හි හට ගන්නා තැති ගැනීම කම්පනය ජරාභය නම් වේ. ව්‍යාධිය ගැන සිත්හි හට ගන්නා තැති ගැන්ම කම්පනය ව්‍යාධි භය නම් වේ. මරණය ගැන සිත්හි හට ගන්නා තැති ගැනීම කම්පනය මරණය භය නම් වේ. මේ සතර ආකාර භය, ධර්ම වශයෙන් නම් හයාකාරයෙන් ඇතිවන ද්වේෂ නමැති ක්ලේශයය.

අපරානි චත්තාරි භයානි :

49. රාජභයං,

50. චෝරභයං,

51. අග්ගිභයං,

52. උදකභයං.

රජුන් නිසා සිත්හි හට ගන්නා බිය රාජභය නම් වේ. සොරුන් නිසා සිත්හි හට ගන්නා බිය චෝර භය නම් වේ. ගින්න නිසා සිත්හි හට ගන්නා බිය අග්ගි භය නම් වේ. ජලය නිසා සිත්හි හට ගන්නා බිය උදකභය නම් වේ.

අපරානි චත්තාරි භයානි

53. ඌමිභයං,

54. කුම්භීලභයං,

55. ආවට්ටභයං,

56. සුසුකාභයං

ජලයෙහි යාත්‍රා කරන්නවුන්ට හා ජලයට පිවිසි අයට රළ නිසා සිත්හි හට ගන්නා බිය ඌමිභය නම් වේ. කිඹුලන් නිසා හට ගන්නා බිය කුම්භීලභය නම් වේ. දියසුළි නිසා හට ගන්නා බිය ආවට්ට භය නම් වේ. නපුරු මසුන් නිසා හට ගන්නා බිය සුසුකාභය නම් වේ.

අපරානි චත්තාරි භයානි:

57. අත්තානුවාදභයං,

58. පරානුවාදභයං

59. දණ්ඩභයං,

60. දුග්ගති භයං.

පව්කම් කළවුන්ට මා විසින් මෙනම් අපරාධයක් කරන ලදැයි තමා විසින් ම චෝදනා කරනු ලැබීමෙන් වන බිය අත්තානුවාදභය නම් වේ. නුඹ මෙබඳු අපරාධයක් කෙළෙහිය යි අන්‍යයන් චෝදනා කිරීමෙන් වනව බිය පරානුවාදභය නම් වේ. කළ වරද අසු වුව හොත් තමාට රජුන් විසින් දඬුවම් පමුණුවනු ලැබේය කියා ඇති වන බිය දණ්ඩභය නම් වේ. මරණින් මතු අපායට යන්නට සිදුවෙතැයි හට ගන්නා බිය දුග්ගති භය නම් වේ.

මේ චතුෂ්ක සතරින් භය සොළොසක් දැක් වේ. ධර්ම වශයෙන් කියතහොත් ඇත්තේ ඒ ඒ කාරණයෙන් ඇති වන භයාකාර ද්වේෂය ම ය. දියට බසින්නවුන්ට ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යයි භය සතරක් ඇතිවන බව අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ සූත්‍ර‍යක දේශනය කර ඇත්තේ ය. ඒ භය සතර මෙසේ ය.

ඌමිභයන්ති ඛෝ භික්ඛවේ කෝධුපායස්සේතං අධිවචනං “මහණෙනි, ඌමිභය යනු ක්‍රෝධ සංඛ්‍යාත චිත්ත පීඩාවට නමෙක” යනු එහි තේරුම ය. සබ්‍ර‍හ්මචාරීහු සසුනෙහි පැවිදිවූවන්ට මෙසේ යා යුතුය, මෙසේ නො යා යුතුය, මෙසේ හිඳිය යුතුය, මෙසේ නො හිඳිය යුතුය, මෙසේ හැඳිය යුතුය, මෙසේ නො හැඳිය යුතුය, මෙසේ පෙරවිය යුතුය, මෙසේ නො පෙරවිය යුතුය යනාදීන් අවවාදානුශාසනා කරති. මහලු වයසේදි පැවිදි වූ ඇතැම් භික්ෂුවකට මෙසේ සිතෙයි. අප පෙර සිටියේ අන්‍යයන්ට අවවාදානුශාසනා කරමිනි. අපට අවවාදානුශාසනා කරන්නෝ නො වූහ. දැන් අපට අපේ දරුවන් මුණුබුරන් පමණ වන අය අනුශාසනා කරන්නා හ. එසේ සිතා ඔහු කිපී නැවත ගිහි වෙයි. එසේ ගිහි වූ තැනැත්තාට බුදු සසුනෙහි රැඳිය හැකි නුවූයේ අන් කරුණක් නිසා නොව ඔහු තුළ මුහුදු රළ සේ නැගි නැගී එන කෝපය නිසා ය. ඔහු බුදු සසුනෙන් පහ කර යැවූයේ අනිකකු නොව ඒ කෝපය ම ය. පැවිද්දන් සසුනෙන් ඉවත් කරවන ඒ කෝපය භික්ෂුවට ඇති ඌමිභය ය.

කුම්භිලභයන්ති ඛෝ භික්ඛවේ ඕදරිකත්තස්සේතං අධිවචනං “මහණෙනි, කුම්භීලභය (කිඹුල්බිය) යනු ආහාරයට ලොල් බවට (කෑදරකමට) නමක් ය” යනු එහි තේරුම ය. ඇතැම් පැවිද්දෙක් මෙසේ වැළඳිය යුතුය, මෙසේ නො වැළඳිය යුතුය, මෙය වැළඳිය යුතුය, මෙය නො වැළඳිය යුතුය, විකාලයෙහි නො වැළඳිය යුතුය යි සබ්‍ර‍හ්මචාරීණ් විසින් අවවාදානුශාසනා කරන කල්හි, අපි ගිහිව සිටින කල්හි කැමති දෙයක් කෑවෙමු, කැමති දෙයක් බීවෙමු, දැන් අපට ඒවාට ඉඩක් නැත, ඇතැම් සැදැහැවත්හු විකාලයෙහි ද අපට කෑ යුතු දෙය දෙන්නාහ, අපට නිරායාසයෙන් ලැබෙන ඒ දෙයක් කෑමට බීමට දැන් ඉඩක් නැතයයි නො සතුටු වී ඇතැම් භික්ෂුවක් සිවුරු හැර යයි. එසේ සසුනෙන් පහව යන භික්ෂුවට සසුනෙන් පහවීමට හේතු වූයේ ඔහු තුළ පැවති ආහාර ලෝලත්වය ය. ඔහු සසුනෙන් නෙරපා හැරියේ අනිකකු විසින් නොව ඔහු තුළ ඇති ආහාරලෝලත්වයෙනි. ඒ ආහාර ලෝලත්වය සසුනේ භික්ෂූන් පලවා හරින කුම්භීලභය ය.

ආවට්ටභයන්ති ඛෝ භික්ඛවේ පඤ්චන්නං කාම ගුණානං අධිවචනං “මහණෙනි, ආවට්ටභය (දියසුළි බිය) යනු පඤ්චකාමයන්ට නමක් ය” යනු එහි තේරුම ය. ඇතැම් භික්ෂුවකට නගර ග්‍රාමයන්ට පිවිසි කල්හි ඒවායේ පස්කම් සුව විඳිමින් වෙසෙන ජනයා දැක පඤ්චකාමාශාව ඇති වීමට ද මොවුන් සේ පස්කම් සුව විඳිමින් ජීවත් වන්නට ධනය ඇත, ශක්තිය ඇත යයි සිතෙයි. ඔහු සිවුරු හැර යයි. එසේ සසුනෙන් පහවීමට හේතු වන භික්ෂූන් සසුනෙන් පහකරවන පඤ්චකාම තණ්හාව ආවට්ට භය ය.

සුසුකාභයන්ති ඛෝ භික්ඛවේ මාතුගාමස්සේතං අධිවචනං “මහණෙනි, සුසුකාභය යනු මාගමට (ස්ත්‍රියට) නමක් ය” යනු එහි තේරුම ය. අසංවරයෙන් නගරග්‍රාමයන්ට පිවිසෙන ඇතැම් භික්ෂුවකට ශරීරාවයවයන් පෙනෙන සේ නො මනා ලෙස හැඳ සිටින කාන්තාවන් දැක රාගය ඇති වේ. එයින් ඒ භික්ෂුවට බුදු සසුනෙහි රැඳී සිටිය නොහී ගිහි බවට පත් වෙයි. එබැවින් ස්ත්‍රිය මේ ශාසනයෙහි භික්ෂූන්ට ඇති සුසුකා භය යයි වදාරන ලද්දේ ය.