අට්ඨසු ලෝකධම්මේසු චිත්තස්ස පටිඝාතෝ:

star_outline

17. ලාභේ සාරාගෝ

18. අලාභේ පටිවිරෝධෝ

19. යසේ සාරාගෝ

20. අයසේ පටිවිරෝධෝ

21. පසංසාය සාරාගෝ

22. නින්දාය පටිවිරෝධෝ

23. සුඛෙ සාරාගෝ

24. දුක්ඛෙ පටිවිරෝධෝ.

භික්ෂුව විසින් තමාට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍ර‍ත්‍යය යන මේවා ලද කල්හි මට බොහෝ ප්‍ර‍ත්‍යය ඇත, මම බොහෝ ප්‍ර‍ත්‍යය ලබමි යි ප්‍ර‍ත්‍යයන් සම්බන්ධයෙන් ඇති වන අධික තණ්හාව ද, ගිහියා විසින් ඔහුට අවශ්‍ය වතු, කුඹුරු, ගෙවල්, වාහන මිල මුදල් ආදිය ලද කල්හි ඒවා ගැන ඇති වන අධික තණ්හාව ද, “ලාභේ සාරාගෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

පැවිද්දාට හෝ ගිහියාට හෝ ලැබී ඇති දෑ නැති වීමෙන් හා ලැබීමේ මාර්ග නැති වීමෙන් හට ගන්නා වූ දොම්නස “අලාභේ පටිවිරෝධෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

ශිෂ්‍යයෝය, සභාග භික්ෂූහුය, නෑයෝ ය, මිත්‍රයෝ ය, දායකයෝ ය යන මොවුහු භික්ෂුවගේ පිරිවර ය. දූ දරුවෝ ය, සහෝදර සහෝදරියෝ ය, නෑයෝ ය, මිතුරෝ ය, සේවකයෝ ය යන මොවුහු ගිහියාගේ පිරිවර ය. පිරිවර ඇති කල්හි මට බොහෝ පිරිවර ඇත්තේ ය යි පිරිවර සම්බන්ධයෙන් ඇති වන අධික තණ්හාව “යසේ සාරාගෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

පරිවාර ජනයා විසින් තමා හළ කල්හි පිරිවර මඳ වූ කල්හි දැන් මට කවුරුන්වත් නැත, මම තනි වීමියි ඇති වන දොම්නස “අයසේ පටිවරෝධෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

අන්‍යයන් විසින් ප්‍ර‍ශංසා කරන කල්හි ඒ ප්‍ර‍ශංසාව ගැන ඇති වන අධික වූ සප්‍රීතික තෘෂ්ණාව “පසංසාය සාරාගෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය. අන්‍යයන් නින්දා කරන කල්හි නින්දාව නිසා ඇති වන දොම්නස “නින්දාය පටිවිරෝධෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

සිත කය දෙකට සැප ඇත වන කල්හි මට සැපය කියා සැපය ගැන ඇති වන අධික තණ්හාව “සුඛෙ සාරාගෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය. රෝග වැළඳීම් ආදියෙන් දුක් ඇති වන කල්හි ඇති වන දොම්නස “දුක්ඛෙ පටිවිරෝධෝ” යනුවෙන් දැක්වෙන ක්ලේශය ය.

ලාභය, අලාභය, යස, අයස, ප්‍ර‍ශංසා, නින්දා, සුඛ, දුඃඛ යන මේ කරුණු අට එකින් එක මතු වෙමින් යට වෙමින් සත්ත්ව ලෝකය යට කරගෙන පෙරළෙන බැවින් ද, ලොවුතුරා බුදුවරයන් ඇතුලු සකල සත්ත්ව සමූහය ම මේ ධර්මයන් අනුව පෙරළෙන බැවින් ද ලෝක ධර්ම නම් වෙති. ලෝක ධර්මයන් අනුව නො පෙරළී සෑම කල්හි එකම ආකාරයකින් සිටීමට සමත් පුද්ගලයෙක් ලෝකයේ නැත්තේ ය. මේ අෂ්ට ලෝක ධර්මය බුදු සිරිතෙන් වඩාත් පැහැදිලි ව පෙනේ.

බුදුන් වහන්සේට බොහෝ ලාභ උපණ. එපමණ ලාභී වූ අන් ශ්‍ර‍මණයෙක් බ්‍රාහ්මණයෙක් නො වූහ. උන්වහන්සේට දානයක් දීමට අවකාශයක් ලබා ගත නො හැකි ව අවකාශයක් ලැබූ වි‍ටෙක දන් දෙමියි ඇතැම් සැදැහැවත්හු ගැල්වල බඩු පටවාගෙන උන් වහන්සේ ලුහුබැඳ ගියහ. ඒ මහා ලාභී වූ භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක කාගෙන්වත් ආහාරයක් නො ලබමින් වේරඤ්ජාවෙහි වැඩ වෙසෙමින් තෙමසක් යව වැළඳූහ. උන්වහන්සේට පිරිවර වූ බොහෝ ශ්‍රාවකයෝ වූහ. නොයෙක් විට උන්වහන්සේ චාරිකාවෙහි යෙදුණේ ද පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරා ගෙන ය. එහෙත් එක් කලෙක උන්වහන්සේ කිසිදු ශ්‍රාවකයකු නො මැතිව පාරිලෙය්‍යක වනයෙහි තනි වූහ. උන් වහන්සේ මිනිසුන් ගෙන් පමණක් නොව දේව බ්‍ර‍හ්මයන්ගෙන් ද අපමණ ප්‍ර‍ශංසා ලැබූහ. චිඤ්චමාණවිකාදීන්ගෙන් බොහෝ නින්දා ද ලැබූහ. උන්වහන්සේ කාම සුඛයන්ට වඩා ප්‍ර‍ණීත වූ ධ්‍යාන සුඛ ඵලසමාපත්ති සුඛ විඳිමින් විසූහ. සමහර අවස්ථාවලදී දුක් ගෙන දෙන ශාරීරිකාබාධ ද උන්වහන්සේට ඇති විය. මෙසේ ලොවුතුරා බුදුවරුන් කෙරෙහි ද ලෝක ධර්මන් ඇති කල්හි සෙස්සන් ගැන කියනුම කිම?

සසර සැරි සරන කිසි ම පුද්ගලයෙකුට අෂ්ට ලෝක ධර්මයට යට නොවී නො විසිය හැකි ය. පෙරළෙන්නා වූ ලෝක ධර්මය අනුව සිත පෙරළෙන්නට නොදී යම් කිසිවකුට නො සැලී සම සිතින් විසිය හැකි නම් ඒ පුද්ගලයා උත්තම පුද්ගලයෙකි. ලෝක ධර්මයන් නිසා සර්වාකාරයෙන් නො සැලී සිටීමට සමත් වන්නේ රහතුන් පමණෙකි. පෘථග්ජනයෝ ලෝක ධර්මයෙන් සැලෙති. එහෙත් ඔවුන්ගේ වෙනසක් ඇත. අන්ධ පෘථග්ජනයාය, කල්‍යාණ පෘථග්ජනයායයි පෘථග්ජනයෝ දෙදෙනෙකි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍ර‍තීත්‍ය සමුත්පාදාදි ධර්ම විභාග නො දන්නා වූ සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය නො දන්නා වූ පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා ය. ඔහුට ලාභ යස ප්‍ර‍ශංසා සුඛයන්ගේ අනිත්‍යතාව නො වැටහෙන බැවින් ඔහු ඒවායේ තදින් ඇලේ. ඒවා නිසා උඩඟු වේ. අලාභ අයශ නින්දා දුක්වලදී දොම්නසට පැමිණේ. බිය වේ. බැගෑපත් වේ.

“එවං සෝ අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්චති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛෙහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි”

(අංගුත්තර අට්ඨක නිපාත)

යනුවෙන් මෙසේ ලෝක ධර්මයන්හි ඇලීම හා විරෝධය ඇති පුද්ගල තෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් දුඃඛයන්ගෙන් දෞර්මනස්‍යයන්ගෙන් උපායාසයන්-ගෙන් නො මිදේ. දුකින් නො මිදේය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

ස්කන්ධාදි ධර්ම විභාග ගැන හා සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය ගැන උගෙනීම් පිළිවිසීම් ඇත්තා වූ බුද්ධ ධර්මය උගත් පෘථග්ජන පුද්ගලයා කල්‍යාණ පෘථග්ජනයා ය. ඔහු ලෝක ධර්මයන්ගේ අනිත්‍යතාව දුඃඛතාව දන්නා බැවින් අෂ්ටලෝක ධර්මයන්හි තදින් නො ඇලේ. ඒවා නිසා උඩඟු නො වේ. අෂ්ට ලෝක ධර්මයන් නිසා ශෝක නො වී බැගෑපත් නො වී නො කිපී මැදහත් ව වෙසේ. අලාභයක් කෙළේ ය, පිරිස භේද කෙළේ ය, නින්දා කෙළේ ය කියා අන්‍යයන්ගෙන් පළි ගැනීම් වශයෙන් අපරාධ නො කරයි. ලාභාදිය පිණිස පව් කම් නො කරයි. එසේ ලෝක ධර්මයන්හි සමව හැසිරෙන පුද්ගලයාට මෙලොව ද ලෝක ධර්මයන් නිසා වන මානසික පීඩා මඳ ය. දුකින් මිදිය හැකි වන්නේ ද ලෝක ධර්මයන්හි සමව පැවතිය හැකි පුද්ගලයන්ට ය. ලෝක ධර්මයන්හි නො සැලී විසිය හැකි තත්ත්වය ඇති කර ගත හැක්කේ බුදුන් වහන්සේ ගේ ධර්මය උගෙනීමෙනි. ලෝක ධර්මයන්හි නො සැලී සිටිය හැකි බව මංගල සූත්‍රයේ වදාරා ඇති අටතිස් මඟුල් කරුණු වලින් ද එකකි.