සැම දෙය ම අනුන් කළාට වඩා ඉහළින් කරන ස්වභාවය, අනුන්ට ඉහළින් සිටින කැමැත්ත සාරම්භ නම් වේ. මෙය ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය. සාරම්භය ඇත්තේ අනුන් එකක් කරනු දුටු විට තමා දෙකක් කරයි. අනුන් දෙකක් කරනු දුටු විට තමා තුන හතරක් කරයි. අනුන් එක ගෙයක් තනනු දුටු විට තමා ගෙවල් දෙකක් තනයි. අනුන්ට එක රියක් තිබෙනු දුටු විට තමා රිය දෙකක් සපයා ගනී. අනුන් එක කුඹුරක් වපුරනු දුටු විට තෙමේ කුඹුරු දෙකක් වපුරයි. අනුන් එක ඉඩමක් වගා කරනු දුටු වි තමා ඉඩම් දෙකක් වගා කරයි. එක් භික්ෂුවක් එක් නිකායක් උගෙන සිටිනු දුටු විට තමා ඔහුට ඉහළින් සිටිය යුතු යැයි නිකාය දෙකක් උගනී. අන් භික්ෂුවක් එක් පිටකයක් උගෙනු සිටිනු දුටු විට මා ඉහළින් සිටි යුතු යයි දෙපිටකයක් හෝ ත්‍රිපිටකය ම හෝ උගනී. ධර්මය ඉගෙනීම කුශලයක් වුව ද සාරම්භ වශයෙන් එසේ කිරීම අපායට මගකි. එක් භික්ෂුවක් එක් පිටකයක් උගෙන සිටින විට මා හට දෙපිටකයක් හෝ තුන් පිටකයම හෝ උගෙනීමේ ශක්තිය ඇතැයි සිතා උගෙනීම යහපති. කෙනකු මසකට වරක් දන් දෙනු දුටු විට මම ඔහුට ඉහළින් සිටීමට මසකට දෙවරක් දෙමියි දීම නො මැනවි. මසකට දෙතුන් වරක් දීමේ හැකියාව ඇතැයි දෙතුන් වරක් දීම මැනවි.