17. කාමුපාදානං
18. දිට්ඨුපාදානං
19. සීලබ්බතුපාදානං
20. අත්තවාදුපාදානං
සර්පයකු විසින් මැඩියකු අල්වා ගන්නාක් මෙන් ලෙහෙසියෙන් නො මුදන පරිදි තදින් අල්වා ගන්නා ධර්මයෝ උපාදාන නම් වෙති.
ලෙහෙසියෙන් නො මුදන පරිදි රූපාදිය තදින් ගන්නා ද දැඩි රාගය, ඕනෑමය කියා තදින් ගන්නා තණ්හාව ‘කාමුපාදාන’ නම් වේ. යම්කිසිවක් ගැන මුලින් ලිහිල්ව ඇති වී මෝරා ගිය රාගය හා තණ්හාවය. රාගය හා තණ්හාව මුලින් ලිහිල්ව ඇති වී මෝරා උපාදාන භාවයට පැමිණේ. “තණ්හා පච්චයා උපාදානං” යි වදාරා ඇත්තේ එබැවිනි.
මිථ්‍යා කථා අසනුවන්ට මිථ්‍යා පොත් කියවන්නන්ට මළ සත්ත්වයා නැවත උපදින්නේ නැත, අපායක් නැත, දෙව්ලොවක් නැත, පින් පව් නැත, පින් පව් වලින් ලැබෙන විපාකයක් නැත යනාදීන් ලිහිල් ලෙස මිථ්‍යාදෘෂ්ටිය ඇති වේ. කල් ගත වීමෙන් ඒ දෘෂ්ටිය මෝරා කිසිවකු විසින් බණ කියා ඉවත් කරවිය නො හෙන තත්ත්වයට මෝරයි. ඒ මෝරා හැරවිය නොහෙන තත්ත්වයට බලවත් වූ දෘෂ්ටිය දිට්ඨුපාදාන නම් වේ.
කලක් පැවතීමෙන් මෝරා ගිය ගෝශිල ගෝව්‍රතාදි මිථ්‍යා ශීලව්‍රතවලින් ශුද්ධිය ලැබිය හැකි ය යන දෘෂ්ටිය සීලබ්බතුපාදාන නම් වේ.
පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් සත්ත්ව පුද්ගල වශයෙන් ගන්නා දෘෂ්ටිය අත්තවාදුපාදාන නම් වේ.
දිට්ඨුපාදාන සීලබ්බතුපාදාන අත්තවාදුපාදාන යන තුන ම ඒ ඒ ආකාරවලින් පවත්නා දෘෂ්ටිය ම ය. එබැවින් ධර්ම වශයෙන් තණ්හාව දෘෂ්ටියය කියා උපාදාන දෙකකි.