දස කිලේසවත්ථූනි:

1. ලෝභෝ

2. දෝසෝ

3. මෝහෝ

4. මානෝ

5. දිට්ඨි

6. විචිකිච්ඡා

7. ථීනං

8. උද්ධච්චං

9. අහිරිකං

10. අනොත්තප්පං

කිලේසවත්ථු යන මෙහි වත්ථු යන වචනයෙන් කියැවෙන විශේෂාර්ථයක් නැත්තේ ය. ක්ලේශයෝ ම ක්ලේශවස්තූහු ය. ලෝභය දෝසය මෝහය මානය දිට්ඨිය විචිකිච්ඡාවය ථීනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මොහු ක්ලේශයෝ ය. මේ දශයට පමණක් විශේෂයෙන් ක්ලේශ නාමය ව්‍යවහාර කර්නනේ ඒවා ප්‍ර‍ධාන ක්ලේශ වන බැවිනි. නොයෙක් නම් වලින් කියැවෙන අන්‍ය සකල ක්ශෙයෝ මේ දශයට සම්බන්ධව පවත්නෝ ය. මේවා සමඟ මේවා හා බැඳී ඇති වන්නෝ ය. එබැවින් නොයෙක් තැන්වල ක්ලේශ වශයෙන් කිය්නනේ මේ කෙලෙස් දශය ය.

ලෝභය

රූපාදි ආරම්මණයන්හි ඇලෙන ස්වභාවය ය, ඇලීම ලෝභය ය. එය මක්කටාලේපය මෙන් ආරම්මණය තදින් අල්ලා ගනී. මක්කටාලේපය යි කියනුයේ වඳුරන් රිලවුන් ඇල්ලීම සඳහා සාදා ගන්නා ලාටුවකි. එය ගසක යම්කිසි තැනක ගල්වා තැබූ කල්හි එතැනින් යන වඳුරාගේ අතක් හෝ පයක් එහි ඇලේ. එක් අතක් ඇලුණු වඳුරා එය ගැළවීම සඳහා අනික් අත ලාටුව මත තබයි. එය ද එහි ඇලේ. ඇනතුරුව අත් ගැලවීමට වීර්‍ය්‍ය ගැනුම පිණිස එහි පයක් තබයි. එයත් එහි ඇලේ. අනතුරු ව ඇලුණු අත් පා ගැළවීම පිණිස ඉතිරි පය ද එහි තබයි. එයත් ඇලෙයි. අත් පා ගැළවීම සඳහා මුහුණ එයට ළං කරයි. එය ද ඇලී වඳුරා මිනිසුන්ට අසු වේ. මක්කටාලේපය වඳුරා තදින් අල්ලන්නාක් මෙන් මේ ලෝභය රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් තදින් අල්ලා ගනී. යම්කිසි අරමුණෙක්හි ලෝභය වරක් ඇති වූ විට ගංගාවක් ගලා යන්නාක් මෙන් දිගින් දිගට ම නැවත නැවත ඒ ලෝභය ඇති වේ. ගංගා ප්‍ර‍වාහය එයට හසුවන සියල්ල සාගරය කරා ගෙන යන්නාක් මෙන් ගංගාවක් මෙන් දිගට ඇති වන ලෝභය එයට හසුවන සත්ත්වයන් අපාය කරා ගෙන යන්නේ ය.

සාමාන්‍ය ජනයා ආදරය ආලය ප්‍රේමය යන වචන ව්‍යවහාර කරන්නේ ද මේ ලෝභයට ම ය. ධර්ම විභාග නො දත් ඇතැම්හු සතුට ශ්‍ර‍ද්ධාව කරුණාව මෛත්‍රිය යන වචන ද ලෝභය සඳහා භාවිතා කරති. අනේකාකාර ඇත්තා වූ මේ ලෝභයට අනේක නාමයන් ඇත්තේ ය. තණ්හා, නන්දිරාග, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, කාමාසව, භවාසව, කාමෝඝ, භවෝඝ, කාමයෝග, භවයෝග, කාමච්ඡන්දනීවරණ, අභිජ්ඣාපරාමාස, කාමරාගානුසය, භවරාගානුසය, කාමරාග-සඤ්ඤෝජන, රූප රාග සඤ්ඤෝජන, අරූපරාගසඤ්ඤෝජන, භවරාගසඤ්ඤෝජන යනාදී නොයෙක් නම් ඇත්තේ ය.

සැපයීමේ ලෝභය, පරිභෝග කිරීමේ ලෝභය, රැස් කර තබා ගැනීමේ ලෝභය යි ද ලෝභය තුන් ආකාර වේ. ධන සැපයීමේ ලෝභය අධිකව ඇත්තේ සැපයීම සඳහා බොහෝ වෙහෙසෙයි. ආහාර ගැනීම, නිදීම ගැන දූ දරුවන් ගැන සැළකිල්ලක් නො කොට රෑ දවල් දෙක්හි වෙහෙස නො බලා ධන සැපයීම කරයි. ඒ සඳහා මහන්සි වීම ඔහුට මිහිරකි. ඒ සැපයීම පිළිබඳ වූ ලෝභයේ සැටිය ය. පරිභෝග කිරීමේ ලෝභය අධික තැනැත්තේ ආහාර පාන වස්ත්‍ර‍ ගෙවල් යාන වාහනාදිය සඳහා ද, නොයෙක් ආකාරයෙන් ඉන්ද්‍රියයන් පිනවීම සඳහා ද ඇති තාක් ධනය වියදම් කරයි. සමහර විට ණය වෙයි. සොරකම් කරයි. රැස් කර තැබීමේ ලෝභය ඇතියේ ලැබෙන සියල්ල සඟවයි. ඔහුට සාගින්නේ සිටගෙන වුව ද ධනය ලබා ගැනීම මිහිරි ය. රැස්ව ඇති ධනය වැඩි තරමට ඔහුට වඩා සතුටක්, වඩා මිහිරක් ඇති වේ.

තණ්හා එකසිය අටකැයි ද කියනු ලැබේ. ඒ මෙසේය:- රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා යි ආරම්මණයන් වශයෙන් තණ්හා සයක් වේ. ඉන් එක එකක් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යන මොවුන්ගේ වශයෙන් තුන් තුන් ආකාර වීමෙන් තණ්හා අටළොසක් වේ. ඒ අටළොසින් එක එකක් අතීත අනාගත වර්තමාන යන කාලත්‍ර‍යාගේ වශයෙන් තුන බැගින් වීමෙන් තණ්හා සිවුපනසක් වේ. ඉන් එක එකක් ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් දෙවැදෑරුම් වීමෙන් තණ්හා එකසිය අටක් වේ.

දෝසය:-

ද්වේෂය වස්තූන් ගැනත් සත්ත්වයන් ගැනත් ඇති වේ. වස්තූන් ගැන ඇති වන්නේ ස්වල්ප වශයෙනි. බෙහෙවින් ඇති වන්නේ ද තදින් ඇති වන්නේ ද පුද්ගලයන් ගැන ය. තමාට අලාභයක් හෝ අවමානයක් හෝ කළ එකකු සිතට අරමුණු වන කල්හි, ඒ පුද්ගලයා හා ගැටෙන පුද්ගලයා තල්ලු කර දමන, පුද්ගලයා කෙරෙහි එල්ලෙන, පුද්ගලයාට රිදවන, එක්තරා රෞද්‍ර‍ ස්වභාවයක් සිත හා එක් ව ඇතිවේ. ඒ ද්වේෂය ය. එහි ලක්‍ෂණය වන්නේ ගල්පහරක් වැදුණු සර්පයකු සේ රෞද්‍ර‍ භාවය ය. එය විෂක් මෙන් වහා ශරීරයෙහි පැතිර යයි. ගින්නක් මෙන් ඇති වූ පුද්ගලයාගේ සිත කය දවයි. එක් අයකු තුළ අනිකකු ගැන ඇති වන ද්වේෂය අනෙකා දවන්නට නම් සමත් නොවේ. එය ද්වේෂය ඇති වූ තැනැත්තා ගේ සන්තානය දවන්නට වෙවුලවන්නට ලේ නරක් කරන්නට විරූප කරන්නට පුද්ගලයා පිස්සකු කරන්නට සමත් ය. එබැවින් ද්වේෂය නිතර ඇතිවන තැනැත්තා රෝග බහුල පුද්ගලයෙක් වේ. හේ ඉක්මනින් මහලු ද වේ.

ද්වේෂයේ ද නොයෙක් ආකාර ඇත්තේ ය. ද්වේෂය ඇති වන පුද්ගලයා දුබල වී එයට ලක් වන පුද්ගලයා බලවත් වන කල්හි ද්වේෂය පසුබසින පලායන වෙවුලන ආකාරයෙන් ඇති වේ. ඒ ද්වේෂය භය නම් වේ. එයින් සිත කය දෙක අතිශයින් දවනු ද දුබල කරනු ද ලැබේ. එයින් බෝකල් ප්‍ර‍තිකාර කොට මිස සුව කළ නො හෙන රෝග හට ගනී. සමහර විට ඒ භයින් සිහි නැති වී වැටේ. සමහර විට මැරී වැටේ.

ඉතා විරූපී පුද්ගලයන්, ලාදුරු පරංගි කුෂ්ඨාදි රෝග ඇතියන්, සත්ත්ව කුණපයන් හා අසූචි ආදිය දක්නා කල්හි එයින් පසු බසින ඈත් වන ඇකිනෙ ස්වභාවයක් ඇති වේ. එය ද හැකිලෙන ආකාරයෙන් ඇති වන ද්වේෂය ය. එයට පිළිකුලය යි කියති. යම් යම් දේ ප්‍ර‍තිකූල වශයෙන් දක්නා ඥානයක් ද ඇත. එය ද්වේෂය නො වේ. කේශාදි කොට්ඨාසයන් පිළිකුල් ලෙස සලකමින් භාවනා කරනුවන්ට ඇති වන පිළිකුල නියම ස්වභාවය දක්නා ඥානය ය.

ශෝකය යනු ද ඥාතිව්‍යසනාදිය නිසා තැවීම් වශයෙන් ඇති වන දෝමනස්ස වේදනාව ය. ද්වේෂයෙන් තොර ශෝකයක් නැත. එබැවින් ශෝකය අකුශල කොට්ඨාසයට අයත් ධර්මයක් බව කිය යුතුය. ශෝක කිරීම ගුණ ධර්මයක් ලෙස ඇතැමුන් සලකන නමුත් එය ගුණ ධර්මයක් නො වේ. ඇතැමුන් සංවේගය ශෝකය යන මේ දෙක එකක් වශයෙන් ගෙන කාරණය අවුල් කර ගෙන තිබේ. ශෝකය අනිකකි. සංවේගය අනිකකි. අනිත්‍ය දුඃඛ අසුභ අනාත්ම වූ සංස්කාරයක් බිය විය යුතු දේ සැටියට දක්නා නුවණ සංවේග නම් වේ. එය කුශල පක්‍ෂයට හා අව්‍යාකෘත පක්‍ෂයට අයත් ගුණ ධර්මයෙකි. ශෝකය හැඬීමට විලාප කීමට හේතු වේ. සංවේගය වීර්ය කිරීමට කරුණෙකි. කෙනකු මළ කල්හි ශෝකය ඇති වූයේ හඬයි. සංවේගයට පැමිණියේ මරණයේ දුක සලකා මරණයෙන් එතර වීමට නිවන් දැකීමට වීර්ය කරයි. මේ ශෝක සංවේග දෙක්හි වෙනස ය.

සිල් සමාදන් වන භාවනා කරන මහණ දම් පුරන අයට ඒවා එපා වන ස්වභාවයක් ඇති වේ. රැකියාවක් කරන්නකුට උගෙනීමක් කරන්නකුට එය එපා වන ස්වභාවයක් ඇති වේ. එය සියුම් ද්වේෂයෙකි. එයට අනභිරතිය යි කියනු ලැබේ. සමහර විට මා පියන්ට දරුවෝ අප්‍රිය වෙති. සැමියාට බිරිය ද බිරියට සැමියා ද අප්‍රිය වේ. දරුවන්ට මාපියෝ අප්‍රිය වෙති. නෑයෝ අප්‍රිය වෙති. ඒ අප්‍රිය වීම ද සියුම් ද්වේෂය ය. මෙසේ ද්වේෂය අනේකාකාර වන්නේ ය.

මෝහය:

සිතින් යම්කිසි අරමුණක් ගන්නා කල්හි ඒ අරමුණ ඇති සැටියට නිවැරදි ලෙස දැනගත නො හෙන පරිදි ආවරණය කරන ධර්මය මෝහය ය. ඒ ආවරණය නිසා නොයෙක් විට ඒ ඒ ආරම්මණයන් ඇති සැටිය හැර අන් ආකාරයකින් වැරදි ලෙස දැන ගනී. ඒ මෝහය ඇසක ඇතිවන පටලයක් බඳු ය. අන්ධකාරයක් වැනි ය. මේ මෝහයෙන් කරන ආවරණය නිසා අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍ය වූවක් සේ වැටහේ. දුකක් වන පඤ්චස්කන්ධය සැපයක් සේ වැටහේ. අශුභ වූ පඤ්චස්කන්ධය ශුභයක් මෙන් වැටහේ. අනාත්ම වූ පඤ්චස්කන්ධය ආත්මයක් සේ සත්ත්වයකු සේ වැටහේ. නියම සැපය වන නිවන නපුරක් සේ වැටහේ. නිවන් මඟ වන ආර්යඅෂ්ටාංගික මාර්ගය කරදරයක් සේ වැටහේ. පින පලක් නැතියක් සේ වැටහේ. පාපය මිහිරක් සේ වැටහේ. අවිද්‍යාව යනු ද මේ මෝහය ම ය. දුක නිර්දේශයේ අවිද්‍යා යන නාමයෙන් විස්තර කර ඇත්තේ මේ මෝහය ම ය. ලෝභය ඇති වූ විට පුද්ගලයාට ඒ බව දැනේ. ද්වේෂය ඇති වූ විට ද ඒ බව දැනේ. මෝහය එසේ දැනෙන ක්ලේශයක් නො වේ. එබැවින් එය ප්‍ර‍හාණය කිරීම දුෂ්කර ය.

මානෝ:

මානය යට නොයෙක් තැන්වල නොයෙක් නම් වලින් විස්තර කර ඇත්තේ ය. මද යන නාමයෙන් දැක්වෙන්නේ ද මේ මානය ම ය. මෙය ප්‍ර‍හාණය කිරීමට දුෂ්කර අර්හත්වය දක්වා පවතින ක්ලේශයෙකි. දිට්ඨි විචිකිච්ඡා ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන මේවා ද ද්වික නිර්දේශයේ විස්තර කර ඇත්තේ ය.