සිංග යනු සතුන්ගේ අංවලට ද නමෙකි. අඟක් සේ තියුණු බැවින් ද තද බැවින් ද අඟ අන්‍ය වස්තූන් සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් වන්නාක් මෙන් කුසලය සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් බැවින් රාගයට සිංග යයි කියනු ලැබේ. කෑමබීම අඩු වුවත් ශරීරය හා වාසස්ථානය සරසාගෙන සිටීමත් සුමිහිරි ව්‍යක්ත කථාව ඇති බවත් මේ සිංග නම් වූ රාගය අධික වූවහුගේ ලක්‍ෂණය ය. මෙය ධනාශාවට වඩා අනර්ථ දායකය. බොහෝ පැවිද්දන් පැවිද්ද කිලිටි කර ගන්නේත් පැවිද්දෙන් පහවන්නේත් මේ සිංග නම් වූ රාගය ඇති වීමෙනි. ධ්‍යානන ලබා අහසින් ගමන් කරන පැවිද්දෝ මේ සිංගය නිසා ධ්‍යානයෙන් පිරිහී පියාපත් සුන් පක්‍ෂීන් මෙන් බිම වැටෙති. බොහෝ තරුණ තරුණියෝ මේ රාගය නිසා සියදිවි නසා ගනිති. මද දැක්වීමෙහි දී මෙය නො කියවුවත් මෙය ද සත්ත්වයා අතිශයින් මත් කරවන උමතු කරවන ක්ලේශයකි. මනෝරථපූරණී අටුවාවෙහි එන කථාවක් මෙසේ ය:
මහාදාඨික නම් රජතුමා සෑගිරියේ අම්බස්තලයෙහි මහා සෑයක් කරවා ගිරිභණ්ඩවාහන පූජාව නම් මහා පූජාවක් කොට කලින් කල සෑගිරියට ස්ත්‍රීන් ද පිරිවරා ගොස් මහා දානයක් දෙයි. ඒ රජුට තරුණ වූ ඉතා දර්ශනීය සිරුර ඇති දමිළදේවී නම් දේවියක් වූවා ය. චිත්තත්ථෙර නම් වූ බුඩ්ඪපබ්බජිතයකුට ඇය දැකීමෙන් බලවත් ලෙස රාගය ඇති විය. ඒ මහණ යන යන තැන දමිළ දේවිය ගැන ම කියන්නට විය. ඒ නිසා ඔහුට උම්මත්තක චිත්තත්ථෙර යන නම ඇති විය. දමිළ දේවිය නොබෝ කලකින් කලුරිය කළා ය. භික්ෂු සංඝයා වහන්සේ ඇගේ මළ සිරුර දැකීමට ගොස් පැමිණි පසු සාමණේරයෝ චිත්ත ස්ථවිරයන් වෙත ගොස් “ස්වාමීනි, ඔබ වහන්සේ නිතරම කියමින් සිටි දමිළ දේවිය කලුරිය කළාය. අපි ඇගේ මළ සිරුර දක්නට ගොස් පෙරලා ආවෙමු” යි කීහ. එය නො අදහා චිත්ත ස්ථවිර උමතු කතා ම කියන්නට වූයේ ය. මේ මනෝරථපූරණියේ එන කතාව ය.
රාගයෙන් මත් වූවකුට නො කළ හැකි නීච වැඩක්, නො කළ හැකි පාපයක් නැත. රාගයෙන් මත්වූවෝ පරම අපවිත්‍ර ස්ථානයන් සිඹිති. ලෙවකති. ලෝකාචාරය නො දැනී ගොස් පියවරු දූවරුන් හා ද පුත්තු මවුන් හා ද සහෝදරියෝ සහෝදරයන් හා ද අසද්ධර්මයෙහි යෙදෙති. ඇතැම්හු මාපියන් පවා මරති. එබැවින් මෙය භයානක ක්ලේශයෙකි. දුරු කිරීමට ද දුෂ්කර ක්ලේශයෙකි. රාගයෙන් මත් වූවෝ කිසිවකුගේ අවවාදානුශාසනයන් නො පිළිගනී. රාගය දුරු කර ගැනීමට ඇති අපාය නම් අශුභ භාවනාව ය.