පඤ්ච භයානි:

66. ආජීවික භයං.

67. අසිලෝක භයං

68. පරිසසාරජ්ජ භයං.

69. මරණ භයං

70. දුග්ගති භයං

දිවි පැවැත්වීම හේතු කොට උපදනා භය ආජීවික භය නම් වේ. දිවි පෙවෙත සඳහා නොයෙක් පව්කම් කළ අයට මරණයං ළං වූ කල්හි නොයෙක් අසුබ නිමිති පෙනෙන්නට වේ. එවිට ඔවුනට මා විසින් බොහෝ පව්කම් කර ඇත්තේ ය යි මහත් භයක් ඇති වේ. අකප්පිය පරිදි අනේසනයෙන් ප්‍ර‍ත්‍යය සපයා ජීවත් වූ පැවිද්දන්ට ද එසේ ම වේ. ඒ ආජීවිකභය ය. පව්කම් කරන්නා වූ ගිහි පැවැදි කාහටත් සොරෙක සල්ලාලයෙක බොරු කාරයෙක බේබද්දෙක කියා අපකීර්තියක් ඇති වේ. අපකීර්තිය පැවිද්දන්ට වඩාත් ඇති වේ. අපකීර්තිය ගැන ඇති වන බිය අසිලෝක භය නම් වේ. පව් කළවුන්ට පිරිසකට ගිය කල්හි මා කළ පව් කම් දන්නා අය මෙහි ඇත ද, යමෙක් මේ සභාවේ මාගේ පව්කම් ප්‍ර‍කාශ කෙරේ ද, ඒවා ගැන ප්‍ර‍ශ්න කෙරේ දැ යි බියක් ඇති වේ. එය පරිසසාරජ්ජ භය නම් වේ. මරණය වේ දෝ යි ඇති වන භය මරණභය ය. අපායට යන්නට වේ දෝ යි ඇති වන භය අපාය භය ය.