කුසීත පුද්ගලයා විසින් අලස බවට පිහිට කර ගන්නා වූ කරුණු කුසීත වත්ථු නම් වෙති. කුසීත වසතූන් පිළිබඳ පාළිය දීර්ඝ බැවින් එය නො දක්වා එහි අදහස පමණක් දක්වනු ලැබේ.
9. පළමුවන කුසීත වත්ථුව:
මේ ශාසනයෙහි භික්ෂුවට වැඩක් කළ යුතු ව ඇත්තේ වේ. එවිට ඔහුට මෙබඳු අදහසක් වෙයි. මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ කිරීමේ දී මාගේ ශරීරය වෙහෙසට පත් වන්නේ ය. එසේ සිතා හෙතෙමේ නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා ඒවා ලැබීම සඳහා සාක්ෂාත් කිරීම සඳහා කායික මානසික වීර්‍ය්‍ය නො කරයි. මේ පළමුවන කුසීත වත්ථුව ය.
10. දෙවන කුසීත වත්ථුව:
භික්ෂුව විසින් කර්මයක් කොට නිමවන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇති වෙයි. මම කර්මයක් කෙළෙමි. කර්මයක් කළා වූ මාගේ කය වෙහෙසට පත් විය. එබැවින් දැන් නිදමියි සිතා නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා වීර්‍ය්‍ය නො කරයි. ඒ ධර්මයන් ලැබීම සඳහා සාක්ෂාත් කරනු සඳහා වීර්‍ය්‍ය නො කරයි. මේ දෙවන කුසීත වත්ථුව ය.
11. තුන්වන කුසීත වත්ථුව:
භික්ෂුවට ගමනක් යාමට සිදු වී ඇත්තේ වෙයි. ඔහු මෙසේ සිතයි. මා විසින් ගමනක් යා යුතුව ඇත. යන කල්හි මාගේ ශරීරය වෙහෙසට පත් වන්නේ ය. එබැවින් මා විසින් කලින් සැතපිය යුතුය යි හෙතෙමේ නිදයි. නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලවලට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ තුන්වන කුසීත වත්ථුව ය.
12. සතර වන කුසීත වත්ථුව:
භික්ෂුව විසින් ගමන නිම කළේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇති වේ. ගමනක් ගියා වූ මාගේ කය වෙහෙසට පත්ව ඇත්තේ ය. දැන් මම නිදමියි සිතා හෙතෙම නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ සතරවන කුසීතවත්ථුව ය.
13. පස් වන කුසීත වත්ථුව:
භික්ෂුව ගමක හෝ නියම්ගමක හෝ පිඬු පිණිස හැසිර රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ පිණ්ඩපාතයක් සෑහෙන පමණට නො ලබයි. ඔහුට මෙබඳු අදහසක් වෙයි. මම පිඬු පිණිස හැසිර වුවමනා පමණට භෝජනයක් නො ලැබුවෙමි. මාගේ සිරුර ක්ලාන්තය, අප්‍රාණිකය. එබැවින් මම නිදමියි නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන් ලැබීමට වීර්‍ය්‍ය නො කරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ පස්වන කුසීත වත්ථුව ය.
14. සවන කුසීත වත්ථුව:
භික්ෂුව ගමක හෝ නියම්ගමක පිඬු පිණිස හැසිර රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් සෑහෙන පමණට ලබයි. ඔහු මෙසේ සිතයි. මම ගමක හෝ නියම්ගමක පිඬු පිණිස හැසිර රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනය රිසි පමණට ලැබුවෙමි. දැන් මාගේ කය ක්ලාන්තය. අකර්මණ්‍යය. බරය. දැන් විශ්‍රාම ගනිමි යි නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ සවන කුසීත වත්ථුව ය.
15. සත් වන කුසීත වත්ථුව:
භික්ෂුවට ස්වල්ප ආබාධයක් ඇති වේ. ඔහුට මෙබඳු අදහසක් වෙයි. මට දැන් ස්වල්ප ආබාධයක් ඇත්තේ ය. දැන් මට විවේක ගැනීමට කාලය යි. ඔහු නිදයි. නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ සත්වන කුසීත වත්ථුව ය.
16. අට වන කුසීත වත්ථුව:
භික්ෂුව රෝගයෙන් නැඟුනේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇති වෙයි. මම දැන් රෝගයෙන් නැඟී සිටිමි. මාගේ කය තව ම දුබල ය. අකර්මණ්‍යය. මම දැන් නිදමියි නිදයි. නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීර්‍ය්‍ය නො කරයි. මේ අටවන කුසීත වත්ථුව ය. මේ කුසීත වස්තු අට දේශනය කර ඇත්තේ බුද්ධ කාලයේ හා එයට සමීප අතීත කාලයේ වර්තමාන ජාතියේදී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් පිළිවෙත් පිරූ භික්ෂූන් වහන්සේ අනුව ය.
සංසාර දුඃඛයෙන් එතරවීමේ අපේක්‍ෂාවෙන් බුදු සස්නෙහි පැවිදි ව පිළිවෙත් පුරන සැදැහැවත් භික්ෂූන්ට, කුසීත වස්තු වශයෙන් දක්වන ලද මේ කරුණු අට වීර්‍ය්‍ය කිරීමට හේතුවන කරුණු ද වේ. එබැවින් ඒවා අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතයේ සූත්‍රයක ආරම්භ වස්තු නාමයෙන් ද වදාරා ඇත්තේ ය.
ඉදිරියට වැඩක් කරන්නට යෙදී තිබීම අලස භික්ෂුවට නිදා ගැනීමට කරුණක් වන්නාක් මෙන් ම සැදැහැවත් භික්ෂුවට වීර්‍ය්‍ය කිරීමට කරුණක් වේ. ශ්‍රද්ධාවත් භික්ෂු තෙමේ ඉදිරි කාලයේ වැඩක යෙදෙන්නට සිදුවී ඇති කල්හි වැඩක යෙදෙන්නා වූ මට නො පැමිණි ධ්‍යානාදියට පැමිණීම සඳහා භාවනා කිරීමට නො ලැබෙන්නේ ය. වැඩ පටන් ගැනීමට කලින් නො පැමිණි ධ්‍යානාදියට පැමිණීමට උත්සාහ කළ යුතු ය යි විශ්‍රාම ගැනීමක් නො කොට වඩා උත්සාහයෙන් මහණ දම් පිරීමේ යෙදෙයි. මේ කුසීත වස්තුව ආරම්භ වස්තුව වන ආකාරය ය.
අලස භික්ෂුව පටන් ගත් කර්මාන්තය නිම වූ සැටියේ මහන්සිය සිතා නිදන්නේ ය. වීර්‍ය්‍යවත් භික්ෂු තෙමේ වැඩක යෙදී සිටීමට වූ කාලය තුළ දී භාවනාවෙහි යෙදෙන්නට නො ලැබීමෙන් සිදු වූ පාඩුව පිරිමසා ගත යුතු යයි වහා භාවනාවෙහි යෙදෙයි.
අලස භික්ෂුව ගමනක් යාමට ඇති කල්හි ඉදිරියට වන්නට ඇති වෙහෙස ගැන සිතා කලින් ම නිදයි. වීර්‍ය්‍යවත් භික්ෂු තෙමේ ගමනක් යෑමට ඇති කල්හි ගමනෙහි දී භාවනාවෙහි යෙදීමට අවකාශ නො ලැබී යෑම ගැන සලකා වඩාත් උත්සාහයෙන් ගමනට පෙර භාවනාවෙහි යෙදෙයි.
වීර්‍ය්‍යවත් භික්ෂු තෙමේ ගමන අවසන් කළ පසු වෙහෙසුණෙමි යි අලස භික්ෂුව නිදන්නාක් මෙන් නො නිදා ගමනෙන් වූ පාඩුව සලකා භාවනාවෙහි යෙදේ.
වීර්‍ය්‍යවත් භික්ෂු තෙමේ මඳ අහරක් ලද දිනයේ අලස භික්ෂුව මෙන් සෑහෙන පමණට ආහාර නො ලදිමි යි නො නිදා මඳ ආහාරයක් වැළඳූ මාගේ කය සැහැල්ලුය යි සලකා භාවනාවෙහි යෙදේ. සෑහෙන පමණට ආහාරය ලද දිනයෙහි ද අද මාගේ ශරීරට බරය. ක්ලාන්තය කියා නො නිදා අද මාගේ ශරීරය බලවත්ය කර්මණ්‍ය යි වඩාත් උත්සාහයෙන් භාවනාවෙහි යෙදේ.
වීර්‍ය්‍යවත් භික්ෂුව ස්වල්ප ආබාධයන් ඇති වූ කල අලස භික්ෂුව මෙන් නො නිදා මේ ආබාධය වර්ධනය වුව හොත් මා හට නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා භාවනාවෙහි යෙදෙන්නට නො ලැබෙන්නේ ය යි මහත් වූ වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි යෙදේ. රෝගයක් වැළඳී එය සුව වූ පසු ද මට තවම ශක්තිය නැත, ක්ලාන්තය කියා නිදන්නේ නැති ව රෝගී ව සිටි කාලයේ දී මා හට නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල ලැබීම සඳහා පිළිවෙත් නො පිරිය හැකි විය. දැන් ඒ පාඩුව පිරිමැසීමටත් භාවනාවෙහි යෙදෙමි යි සිතා ම මහෝත්සාහයෙන් භාවනාවෙහි යෙදේ. මේ වීර්‍ය්‍යවත් භික්ෂුවට අලසයාට නිදීමට හේතු වන කරුණු වීර්‍ය්‍ය කිරීමට හේතු වන ආකාරය ය.