15. අන්තවාදිට්ඨි 16. අනන්තවාදිට්ඨි

ආත්මය ආකාශය සේ කොනක් නැති ඉතා මහත් දෙයක් නොව පර්යන්තයක් ප්‍ර‍මාණයක් ඇතියක්ය යන දෘෂ්ටිය අන්තවාදෘෂ්ටි නමි. ආත්මයෙහි පර්යන්තයක් නැත, එය අති විශාලය යන දෘෂ්ටිය අනන්තවාදිට්ඨි නම් වේ. ආත්මදෘෂ්ටිකයෝ ඔවුන්ගේ හැඟීම් අනුව අනේකාකාර ආත්ම ප්‍ර‍කාශ කෙරෙති. ඇතැමුන්ගේ හැඟීම් අනුව ආත්මය කුඩාය. ඇතැමුන්ගේ හැඟීම් හැටියට ආත්මය විශාල ය. කසිණ භාවනාව කරන්නෝ තමන් විසින් ලබා ඇති කසිණ නිමිත්ත කෙමෙන් මඳින් මඳ මහත් කොට සිතති. ඔවුනට ඔවුන් ගේ සිත් අනුව කසිණ නිමිත්ත මහත් මහත් වී වැටහෙයි. ඇතැමෙක් තමාට වැටහෙන කසිණ නිමිත්ත පමණට, තමාගේ සිතත් ආත්මයත් ඇතිය යි කසිණයේ ප්‍ර‍මාණයෙන් ආත්මය ප්‍ර‍මාණ කරයි. ඔහුට කසිණය සේ ම ආත්මයත් පර්‍ය්‍යන්තයක් ඇතියක් ය යන දෘෂ්ටිය ඇති වේ. ආත්මය ගැන සොයන ඇතැම් තාර්කිකයන්ට හා නිගණ්ඨයන්ට හා ආජීවකයන්ට මේ දෘෂ්ටිය ඇති වන බව කියා තිබේ. උත්පත්තියෙන් සත්ත්වයා පූර්වාන්තය ඇතියෙක, මරණයෙන් අපරාන්තය ඇතියෙකැයි ගන්නා උච්ඡේදවාදීන්ට ද මේ දෘෂ්ටිය ඇති වන බව කියනු ලැබේ. කසිණ නිමිත්ත ප්‍රමාණයක් නැති තරමට මහත් කොට වැඩූ අයට කසිණ නිමිත්ත අනුව ආත්මය අන්තරහිතය යන දෘෂ්ටිය ඇති වේ.