අටුවාකථාවස්තු

අටුවාකථාවස්තු

පොල්වත්තේ බුද්ධදත්ත හිමි

පොත ගැන

අටුවාකථාවස්තු - පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහාස්ථවිර

හැඳින්වීම

අපේ බොහෝ විද්වතුන් පර්යේෂණ කාර්යයකට යොමුවන්නේ කලාතුරකිනි. එයද බොහෝවිට ආචාර්ය උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධයක් පාදක කරගෙනය. මෙම මාර්ගයෙන් වෙනස්ව පාළි සාහිත්‍යයේ අටුවාවන් පිළිබඳව කරනලද පර්යේෂණ ග්‍ර‍න්ථයක් මෙයට වසර පනහකට පමණ පෙර අග්ගමහ හා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන් විසින් ලියා ඇත. එය අටුවා පරීක්ෂණය හා අටුවා කතා වස්තු නමින් හඳුන්වා ඇත.

මෙම පොතෙහි කොටස් දෙකකි. පළමුවැන්න ශාස්ත්‍රීය පරීක්ෂණයකි. දෙවැන්න බෞද්ධ කෙටිකතා එකතුවකි. ශාස්ත්‍රීය පරීක්ෂණය කර ඇත්තේ අටුවාවන් පිළිබඳවය. අටුවාවන් පිළිබඳව සමහර කෙනෙක් දරන්නේ ඒවා පර්යේෂණය නොකළයුතු විමංසනය නොකළයුතු කෘතීන්ය යන අදහසයි. එය පව් සිදුවන කාර්යයක් බවයි. එවැනි වටපිටාවක බුද්ධදත්ත හාමුදුරුවන් මෙයට පෙළඹීම ම වැදගත් කාර්යයකි. අටුවා වසයෙන් හඳුන්වන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් පිළිබඳව පසුකලෙක කරන ලද විස්තර කිරීම්ය. අමාරු ගැටලු තැන් පැහැදිලි කිරීම් හා නිරවුල් කිරීම්ය. ඒවා බුද්ධ භාසිත නොවේ. අටුවාචාරීන් විසින් තම තමන්ගේ නැණ පහණින් කරනලද ඒවාය. එම අටුවාවලද විවිධ සදොස් තැන් නොගැලපෙන තැන් එකිනෙකට විරුද්ධ අදහස් නැතුවාම නොවේ. ඒවා විමසීමට භාජනය කිරීම උසස් සේවාවකි. එවැනි අවස්ථා කීපයක්ම මෙම පොතෙන් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් අපේ බෞද්ධ සාහිත්‍යයේ එන මාරසංකල්පය පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙහි ඇත. මාරයා යනු මනඃකල්පිත දෙවියෙක් බව හේතුදාහරණ සහතව මෙහි පෙන්වා දෙයි.

පොතේ දෙවැනි කොටසේ කෙටි බෞද්ධ කතා 136 ක් වෙති. එයින් වැඩි ගණනක් ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ අපිස් දිවි පැවැත්ම, මහණකමේ පරමාර්ථ මුදුන්පමුනුවාගැනීම සඳහා කරනලද ආරබ්ධ වීර්යය අධිෂ්ඨාන ශක්තිය වැනි පුරුෂාර්ථයන් පිළිබිඹුකරන කතාන්තරය. සැදැහැයෙන් සසුන් වන් කුලදරුවන් විසින්ද එම කතා කියවීම දෙලොවටම හිතකරය. මෙහි අවසාන කතාවේ එන්නේ බෙහෙත් මුලක් නිසා පිශාචයන් දුටු කතාවකි. පිශාචයන් දැකීම බියජනක වුවත් මෙම භික්ෂූන් වහන්සේට එවැනි බියක් හට ගෙන ඇත. එපමණක් ද නොව භික්ෂූන් වහන්සේලා පිශාචයන්ගේ වුවත් බඩගින්න නිවා දැමීමට ආධාර උපකාර කළ මහාගුණයෙන් යුක්ත බවද එයින් උගත හැකිය. මෙවැනි රසවත් කතා කිහිපයක් මෙහි වෙති.

මෙම පොත මෙයට පනස්වසරකට පෙර මුද්‍ර‍ණය වූ බව සඳහනි. අද එහි පිටපතක්වත් සොයා ගැනීමට නැත. මෙහි අටුවා පරීක්ෂණය නම් කොටසේ උපයෝගීතාවය සහ වටිනාකම අද එදාට වඩා වැඩිය. මෙය මෙසේ දෙවැනි වරට මුද්‍ර‍ණය කිරීම උගත් සහ උගන්නා අයට ඵලදායී වනු ඒකාන්තය. පොත සකස් කිරීම සහ මුද්‍ර‍ණය කිරීම සඳහා නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාටද දැකුම්කළුලෙස දර්ශනීය පිටකවරයකින්ද යුතුව මුද්‍ර‍ණය කළ ග්ලෝබල් ග්‍රැෆික්ස් මුද්‍ර‍ණ ආයතනයේ මුද්‍රණ කළමනාකාරතුමන් ඇතුළු සියලු සේවක මහත්ම මහත්මීන්ටද ස්තුතිවන්ත වන අතර ඒ හැමට කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි.

මෙයට, ශාසනස්ථිතිකාමී

කිරම විමලජෝති ස්ථවිර

අධ්‍යක්ෂ

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

ඇන්ඩර්සන් පාර,

නැදිමාල, දෙහිවල.