113. අභය - නාග සොරු දෙදෙන

star_outline

ලක්දිව අතිප්‍ර‍කට දාමරික සොරු දෙදෙනා නම් අභය චොර, නාගචොර යන දෙදෙනා යි. මෙයින් අභය සොරාගේ ප්‍ර‍වෘත්තිය මෙහි 12 වෙනි අංකයෙහි දීඝභාණක අභය තෙරුන්ගේ කථාවෙහි දක්වන ලදි. හෙතෙම 500 පිරිස ඇතිව සිටියේ ය. නාග චොරයා නම් චොරනාගයා විය හැක. වළගම්බා රජුගේ පුත්‍ර‍ වූ චොරනාග තෙමේ මහසිළු මහතිස් රජුගේ රාජ්‍ය කාලයේ දී දාමරික සොරෙක්ව සිටියේ ය. මහසිළුරජ 14 වසක් රාජ්‍යය කෙළේ ය. එයින් පසු චොරනාග රජවිය. දාමරික ව සිටි කාලයේ දී හෙතෙම යම් යම් විහාරයක වාසය නො ලැබී නම් ඒ විහාර සියල්ල විනාශ කරවිය. එසේ විනාශ කර වූ විහාර ගණන 18 ක් විය. දොළොස් අවුරුද්දක් රාජ්‍යය කළ හෙතෙම මරණින් මත්තෙහි ලොකාන්තරික නරකයක උපන්නේ ය යි මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයෙහි කියන ලදි. මැඳුම් සඟි අටුවාහි ද අච්ඡරිය ධම්මසුත්තවණ්ණනා (921) වෙහි මේ සොරු දෙදෙන ලොකොන්තරික නිරයෙහි උපන්නාහ යි කිය වේ.

සිරිනාග නමැති දාමරිකයකු ගැන රසවාහිනියෙහි පෙනේ; එනම් ඇති රජකු ගැන මහාවංශයෙහි ත් කිය වේ. එහි කියවෙන සිරිනාග රජ බු.ව. 738 දී රාජ්‍යයට පැමිණ 19 වසක් රාජ්‍යය කෙළේ ය. හෙතෙම කණිට්ඨතිස්ස රජුගේ පුත්‍ර‍ වූ කුඩ්ඩනාග රජුගේ දේවියගේ සහෝදරයා වූ සෙන්පතියෙකි. ඔහු දාමරිකව අවුත් කුඩ්ඩනාග රජු පලවා හැර රාජ්‍යය ගත් බව මහාවංශයේ කියන නමුත් ඔහු නපුරු ක්‍රියා කළ අයෙකැයි නො කියන ලදි. රසවාහිනියෙහි කියවෙන සිරිනාගරජ බ්‍රාහ්මණ වංශිකයෙකි. එහි පෙනෙන කථාව මෙසේ යි:- සිංහලද්වීපයෙහි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙක් ධනය යෝධයන් රැස්කොට අනුරාධපුරයේ රාජ්‍යය ගන්නෙමි යි සිතා ධනය ලැබිය හැකි සැටි සොයන්නේ දකුණු මහාසෑය දැක මිනිසුන් ගෙන්වා චෛත්‍යය බිඳින්ට නියම කෙළේ ය. ඔවුහු එය සන්ධි කළ තැන නො දන්නා බැවින් බිඳිය නො හැකියි කීහ. “එය කවරෙක් දනීදැ”යි විචාළ විට හෙල්ලෝලි ගම බහුල නම් සැඩොලා දන්නේ යයි කීය. ඔහු ගෙන්වා එහි සන්ධිය ළඟින් චෛත්‍යය බිඳුවයි කී විට “ආනන්තර්‍ය්‍යකර්‍මයක් වැනි වූ චෛත්‍ය බිඳීම කළ නොහැකිය”යි හෙතෙම කීය. කෝපයට පත් සිරිනාග තෙමේ ඔහු උළ හිඳුවන්ට නියම කොට ඔහුගේ පුත්‍රයෝ සත්දෙන සන්ධිය දනිති යි කි බැවින් ඔවුන් ද ගෙන්වා චෛත්‍යය බිඳින්ට කීහ. ඒ සත්දෙනා ද එය කිරීමට නො කැමති වූ විට ඔවුන් ද උළ තැබ්බ විය. ඒ අට දෙන මැරී මිනිසුන් බලා සිටියදී ම දෙවියන් ගෙනා රථවලනැගී දෙව්ලොවට ගියහ. ඒ ආශ්චර්‍ය්‍යය දුටු මිනිස්සු නොයෙක් කරුණු කියා ඒ සෑය බිඳීම වැළැක්වූහ. ඉක්බිති හෙතෙම නැගෙනහිර පැත්තට ගොස් මීපිටිය නම්ගම පැහැර ගෙන මීපිටි චෛත්‍යය බින්දවා ධනය ගෙන සේනාව රැස්කොට යුද්ධ කිරීමෙන් ජය ගෙන අනුරාධපුරයෙහි රාජ්‍යය අත්පත් කර ගත්තේ ය.

වැඩි කලක් ගතවෙන්ට පෙර ඔහුගේ අකුසලකර්‍ම බලයෙන් දරුණු උදරාබාධයක් ඇති විය. එය බෙහෙතින් සුව කළ නො හැකි වූ විට චෛත්‍යය ප්‍ර‍තිසංස්කරණය කොට නැවත බැන්ද වූ නමුත් එයිනුත් සුවය ලබා ගත නො හැකි වූ හෙතෙම බඩ පැළී මැරී ගොස් මහානරකයෙහි උපන්නේ ය.

අට්ඨසාලිනී අටුවාහි නික්ඛෙපකණ්ඩවණ්ණනාවෙහ ද චෝර නාග රජුගේ නම පෙනේ. එක් තෙරනමක් පාත්‍රයේ බත් අතින් ගෙන රජුට නොදී පාත්‍රයෙන් ම බත් හළා ඔහුට දීම නිසා හෙතෙම තෙරුන් කෙරේ පැහැදුණේ යයි කිය වේ. (316 නාගර)

විනය අටුවාවෙහි ද තතියපාරාජිකවණ්ණනා (259) වෙහි මෙසේ කියන ලදි:- “ස්පර්‍ශ නො කළ (අත නොගෑ) පිණ්ඩපාතය පැමිණියා වූ දාමරික සොරුට ද අධිපතියාට ද දිය යුතුය. කුමක් හෙයින් ද යත්? ඔවුන්ට ආහාර නුදුන් කල්හිත් කිපෙත්. ඉඳුල්කොට දුන්නොත් ඒ නිසාත් කිපෙත්, එසේ කිපී භික්‍ෂූන් ගේ ජීවිතයටත් ශාසනයටත් විපත් පමුණුවති. රාජ්‍යය පතමින් හැසුරුණු චොරනාගගේ කථාව මෙහි දී කිය යුතුය‍.” (ඒ කතාව විනය අටුවාහි විස්තර නො කරන ලදි. අට්ඨසාලිනියෙහි අතිසංක්‍ෂිප්තව පෙනේ.)

විනය අටුවාවේ ඒ පිටේ ම තවත් තැනක මෙසේ දැක්වේ:- “සොරුන්ට වනාහි සංඝිකදෙයක් දිය යුතුයි, පටිසන්ථාරයේ (හෙවත් කෑම්පීම් ආදියෙන් සංග්‍ර‍හ කිරීමේ) ආනිසංස දැක්වීම සඳහා චොරනාග වස්තුව ද සොහොයුරා සමග දඹදිවට ගිය මහානාග රජුගේ කථාව ද පිතෘරාජයාගේ රාජ්‍ය කාලයේ දී ඇමතියන් සිවුදෙනගේ කථාව ද අභය සොරාගේ කථාව ද කිය යුතුය” එතැන දක්වා තිබෙන්නේ අභය සොරුගේ කථාව පමණයි. එය මින් ඉහත දක්වන ලදි. පිතුරාජයා නම් වළගම්බා රජතුමා යි ඒ රජුගේ ඇමතියන් සිවුදෙනගේ කථාව මහාවංශයෙහි එයි.

මෙහි මහානාගයය කියවේනනේ වොහාරතිස්ස රජුගේ බාලසොහොයුරු අභයනාග කුමරා විය යුතුයි. හෙතෙම සොහොහුරු රජුගේ මෙහෙසිය හා රහස් සම්බන්ධයක් ඇති කරගත් බැවින් රජුට බියෙන් භල්ලතිත්‍ථ නම් තැනින් නැව්නැගී සුළු පිරිසක් සමග දඹදිවට ගියේ ය. ඉක්බිති අවුරුදු කීපයකට පසු දෙමළ භටපිරිසක් සමග හැරී අවුත් වොහාරතිස්ස රජු මරා අට අවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු රාජ්‍යයට පැමිණියේ බු.ව. 779 දී ය. (මහාවංශයේ 36 වෙනි පරිච්ඡේදය බලනු.)

විනය අටුවාහි පෙනෙන “සොහොයුරා සමග දඹදිවට ගිය” යනතැන “සොහොයුරා සමග විරුද්ධ වී දඹදිවට ගිය” යන අර්‍ථය ලබාදෙන වචනයක් තිබිය යුතුයි. මුද්‍රිත අටුවා පොත් කිසිවක එවැනි වචනයක් දකින්ට නො ලැබෙතත් සොහොයුරකු සමග දඹදිව ගිය කිසි රජකුමරකු ගැන මහාවංශයේ නො පෙනෙන බැවින් එය දූෂිත පාඨයකැයි කිය යුතුය.

විනය අටුවාහි දඹදිවගිය බව මිස පටිසන්ථාරය සම්බන්ධයෙන් කුමක් සිදුවී දැයි නො කියන ලදි. සිදු වූ දෙය සංක්‍ෂේපයෙන් වත් දැක්වෙන්නේ අට්ඨසාලිනී අටුවාවෙහි ය. එහි නික්ඛෙපකණ්ඩවණ්ණනාවෙහි පටිසන්ථාරදුක නිද්දෙසයෙහි මෙසේ කියවේ:- මෙයින් පලාගොස් පරතෙරට ගිය මහානාග රජ එක් තෙරනමක ගෙන් සංග්‍ර‍හ ලැබ නැවත හැරී අවුත් රාජ්‍යය ලැබ තමාගේ ජීවිතාන්තය දක්වා රජකම් කළේ ය. ඒ රජු සෙතම්බංගණයෙහි භික්‍ෂු සංඝයාට බෙහෙත් දානයක් පැවැත්වීය.