135. තෙලකන්දරික වස්තුව

විසුද්ධිමග්ග - සීලනිද්දෙසයෙහි (ඉං. 27) උක්කාචනා යන්න තෝරන තැන “තෙලකන්දරික වස්තුව” කියයුතු යයි දක්වන ලදි. නමුත් ඒ පොතේ කිසි තැනක එය විස්තර නො කරන ලදි. විසුද්ධිමග්ගටීකාවෙහි සංක්‍ෂේපයෙන් ද විසුද්ධිමග්ගගණ්ඨියෙහි විස්තර වශයෙන් ද එය දක්වා තිබේ. එක් දැරියක් තෙල් ලබා ගැනීම පිණිස ආ භික්‍ෂුනමකට පුරවා තිබුණු තෙල් කුලාවකින් ස්වල්පයක් වත් කෙළේ ය. භික්ෂුනම ටිකක් එහාට ගොස් අන් ස්ත්‍රියක් හා කථා කරමින්,

“මේ දැරියගේ මව ශ්‍ර‍ද්ධාවත් උපාසිකාවකි. ඇය තෙල් දෙනවිට භාජනය පුරවා ගෙනවුත් ඇදහැලෙන දිය ඇල්ලක් මෙන් භාජනයේ ස්වලපයක්වත් ඉතිරිකර නොගෙන පාත්‍ර‍යට තෙල් වත්කළාය” කීය. ඒ කථාව ඇසුණු දැරිය ලැජ්ජාවට පත්ව තෙල් භාජනය ගෙනවුත් ඉතිරි නො කොටම ඒ භික්ෂුවගේ පාත්‍රයෙහි වත් කෙළේ ය.