112. කුටුම්බරිය විහාරයේ තරුණභික්‍ෂුනම.

අංගුත්තරඒකනිපාතවණ්ණනා (262) වෙහි මේ ප්‍ර‍වෘත්තිය පෙනේ:- රුහුණු රට කුටුම්බරිය විහාරයෙහි විසූ එක් භික්‍ෂුනමක් දුර්භික්ෂ කාලයෙක දී එක් ලම්බකයකගේ ගෙයි වළඳන්නේ එහි දී වැළඳීමට එක් බත් සැන්දක් ද විහාරයට ගෙන යාමට එක් බත් සැන්දක් ද ගත්තේ ය. එක් දිනක් ඒ ගෙට ආගන්තුකයකු පැමිණ සිටිනු දුටු ඒ භික්‍ෂුනම එක් බත් සැන්දක් පමණක් පිළිගත්තේ ය. ඒ නිසා පැහැදුණු ගෘහස්වාමි තෙමේ ඒ භික්‍ෂුවගේ මාත්‍ර‍ඥ බව රජගෙයි තමන්ගේ මිත්‍ර‍යන්ට කීය. ඔවුහු එකතුව නිත්‍ය බත් සැටක් ඒ භික්‍ෂුව වෙනුවෙන් පිහිටු වූහ.