58. පැදුම්කඩරොදවැසි තෙරනම

අනුරාධපුරයේ කුලපුත්‍රයෝ දෙදෙනෙක් ථූපාරාමයෙහ පැවිදි වූහ. එක්නමක් උපසම්පදාවෙන් පස්වස් ඇතිව නිස මිදී පැදුම්කඩ රොද (=පාචීනඛණ්ඩරාජිය) ට ගියේය. අනික් නම ථූපාරාමයෙහි ම විසීය. පැදුම්කඩරොද බොහෝ කලක් විසූ ඒ තෙරනම ඒ ස්ථානය විවෙකයට යෝග්‍ය බැවින් තමාගේ මිත්‍ර‍ තෙරුන් ද එහි කැඳවා ගෙන එනු කැමතිව දිනක් ථූපාරාමයට ආවේය. මිත්‍රතෙර එතුමන් පිළිගෙන වතාවත් කෙළේය. ආගන්තුක තෙරනම තාමට ලැබුණු සෙනසුනට ඇතුල්ව “දැන් මාගේ මිත්‍රතෙර ගිතෙල් හෝ පැණි හෝ පානවර්‍ගයක් හෝ එවනවා ඇතැ”යි සිතීය. ඒ කිසිවක් නොලත් බැවින් උදෑසන “උපස්ථායකයන් එවූ කැඳ හා කැවිලි එවනවා ඇති”යි සිතීය. එයත් නොලැබෙනවා දැක “එවන කෙනෙක් නැතුවා විය හැක;” ගෙවලට ගියවිට ලැබෙනවා ඇතැ” යි සිතා මිත්‍ර‍ තෙරුන් සමග ගොදුරු ගමට ඇතුල්විය. ඒ දෙනම එක් වීථියක හැසිර කිනිස්සක් පමණ කැඳ ලැබ අසුන්හලකට ගොස් එය වැලඳූහ. එවිට ආගන්තුකතෙරනම “නිතර දෙන කැඳක් නැතුවා විය හැක; දාවාල්හි ප්‍ර‍ණීතාහාරපාන ගෙනැවිත් දෙනවා ඇතැ”යි සිතීය. නමුත් දාවල්හිත් පිණ්ඩපාතයෙහි හැසිර ලැබුණු දෙයක්ම අනුභව කොට “ස්වාමීනි, හැමකල්හි මෙසේ යැපෙනසේක් දැ”යි ඇසූ විට “එසේ”ය යි නගරවැසිතෙර උත්තර දුනි. “ස්වාමීනි, පැදුම්කඩරොද මීට වඩා සැප පහසු ඇත, එහි වැඩිය මැනවැ”යි කී විට නුවර වැසි තෙරනම දකුණු දොරටුවෙන් නික්ම කුඹල්ගම දෙසට යන්ට හැරුණේය. “ස්වාමීනි, මේ මගට බැස්සේ කුමක් හෙයින්දැ”යි ඇසූවිට, “ඇවැත්නි, ඔබ පැදුම්කඩරොද වර්‍ණනා කළහ; මම එහි යන්ට හැරුණෙමි”යි නුවරවැසි තෙර කීය. “කිමෙක්ද, ස්වාමීනි, මෙතෙක්කල් විසූතැන ඔබට අයත් කිසි බඩුමුට්ටුවක් නැද්දැ”යි ඇසූවිට “ඇවැත්නි, එහි ඇඳපුටු සංඝිකය; ඒවා තැන්පත් කරන ලද්දාහුමය; මා සතු අන් කිසිවක් එහි නැතැ”යි කීය. “ස්වාමීනි, මාගේ සැරයටියත්, තෙල්බෝතලයත් වහන්දමන පසුම්බියත් එහිය”යි කීවිට “ඔබ එකදිනක් විසූතැන මෙතෙක්දේ තැබුවාහුද”යි තෙරනම විචාළේය. එවිට ගම්වැසි තෙරනම “ස්වාමීනි, ඔබවැන්නන්ට හැමතැනම වනවාසයට සමානය; ඔබ මෙහි ම විසුව මැනවැ”යි කියා පසුදා තමාගේ පාත්‍ර‍ සිවුරු ආදිය රැගෙන පැදුම්කඩරොදට ගියේය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණ නිද්දෙසයෙහ (90) එයි.)