(බු.ව. 475-530 පමණේ දී)
තිපිටක (හෝ තෙපිටක) චූලනාග මහාස්ථවිරතුමා දීපවිහාරවාසී සුම්ම මහතෙරුන්ගේ ශිෂ්‍යයා යි. මේ ගුරු ශිෂ්‍ය දෙනමගේ මතභේදයන් ගැන මැඳුම්සඟි අටුවාහි (126) ආකංඛෙය්‍යසූත්‍ර වර්‍ණනාවෙහි ද, අංගුත්තරඅටුවාහි (319) දුකනිපාතවණ්ණනාවෙහි ද, විනයඅටුවාහි (392) නිස්සග්ගියවණ්ණනාවෙහි ද, ඣානවිභංග අටුවාහි ද දක්වන ලදි.
මේ දීපවිහාරවාසී සුම්මතෙර උපතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය වූ මහාසුම්ම තෙරනම වී නම් චූලනාග තෙරුන්ගේ කාලය මහසිළුමහතිස් රජුගේ කාලයට සමීප විය යුතුයි.
මේ තෙරුන් ලෝහප්‍රසාදයෙහි ත්‍රිලක්ෂණය පිළිබඳ ධර්‍මයක් දේශනා කරද්දී බණ අසමින් හුන් එක් බමුණකුට සංස්කාරයෝ ශූන්‍යවශයෙන් වැටහුණාහ. හෙතෙම ප්‍රපාතයක වැටෙන්නකු මෙන් හැඟීමක් ඇතිව වහා එතැනින් පලාගොස් ගෙට පැමිණ පුත්‍රයා ළෙහි හොවාගෙන “ශාක්‍යධර්‍මය විමසන මම නටුයේ වෙමි”යි කීය. මේ ප්‍රවෘත්තිය සංයුත්ත අටුවාහි ඛන්‍ධසංයුත්තවණ්ණනාවෙහි (ii, 201) කියවේ.
චූලනාගතෙරුන් අම්බිලහාල විහාරයේ දී ඡඡක්කසූත්‍රය දෙසූ අවස්ථාවෙහි මිනිස් පිරිස ගව්වක් පැතිර සිටියායයි ද දෙවිපිරිස යොදුනක් පමණ වූවා යයි ද දහසක් භික්‍ෂූහු රහත් වූවාහයි ද මැඳුම්සඟි අටුවාහි එම සූත්‍රවර්‍ණනාවෙහි (1025) දැක්වේ.
කූටකණ්ණරජ චූලනාග තෙරුන් කෙරෙහි මහත් භක්ති ඇත්තේ විය. තෙරුන්ගේ ඇඟිල්ලක ගෙඩියක් හටගත් විට රජතුමා එහි පැමිණ බලවත් ප්‍රේමයෙන් ගඩසහිත ඇඟිල්ල තමාගේ මුඛයෙහි බහාගත්තේ ය. ගෙඩිය මුවතුළ දී පැළී සැරව නික්මුණි. රජතෙමේ සැරව ඉවත නොදමා ගිල්ලේ යි විභංග අටුවාහි (319) ඤාණවිභංගනිද්දෙසයෙහි දැක්වේ. මේ තෙරුන්ට මාරණාන්තික රෝගය වැලඳුණු විට ද රජ එහි ගොස් අශුචි කබල හිසින් ගෙන යමින් “දහම් රථයේ අකුර බිඳේ” යයි කියා වැලපුණු බවත් එතැනම කියවේ. මේ කූටකණ්ණ රජුගේ නාමය අටුවා කීපයකම පෙනෙතත් ලක්දිව මුද්‍රිත මහාවංස එකකවත් ඒ නාමය නොපෙනේ. එංගලන්තයේ මුද්‍රිත පොතේ ඒ නම දක්නා ලැබේ. මේතෙම මහාචුළීමහාතිස්ස රජුගේ පුත්‍රයෙකි. බු.ව. 502 සිට අවුරුදු 22 ක් රාජ්‍යය කෙළේ ය. මොහුගේ නම මෙහි මුද්‍රිත පාළිපොතේ කාලකණ්ණිතිස්ස යයි ද සිංහල පොත්වල මකලන්තිස් යයි ද පෙනේ. මේ චූලනාග තෙරුන්ගේ ආචාර්‍ය්‍ය වූ මහාසුම්ම තෙරුන් මහාසිළුමහතිස රජුකල සිටිබව මින් උඩදී දැක්වූ බැවින් චූලනාග තෙරුන් ඒ රජුගේ පුත්‍රයාගේ කාලයේ දී විසීම සිදුවිය යුත්තකි.
චූලනාග තෙරුන් තිපිටක චූලාභය තෙරුන්ට සමකාලීන බව ඛන්‍ධවිභංග අටුවාදියෙන් පෙනේ. චූලනාග තෙර “අකුශලයෙහි දී දළ - සියුම් බවක් නොසැලකිය යුතුය. එය ඒකාන්තයෙන් ඖදාරිකය” යි කීය. මේ කථාව තිපිටක චූලාභය තෙරුන්ට දැන් වූ විට ඒ තෙරණුවෝ; “සර්‍වඥයන් වහන්සේ විසින් අභිධර්‍මයේ දී බෙදිය යුතු දෙයක් නොබෙදා හරන ලද්දේ නොවේ. ඇතැම් තෙරකෙනෙක් අකුශලයන්ගේ ඖදාරික - සූක්‍ෂමත්‍වය බෙදන්ට නොකැමති වෙයි. බුදුරජ ලොකොත්තර චිත්තයන්ගේත් ඖදාරික - සූක්‍ෂමත්‍වය දැක්වීය”යි කීහයි විභංග අටුවා (16 ඉං) හි පෙනේ.
මැඳුම්සඟි අටුවාවේ හා දික්සඟි අටුවාවේ සතිපට්ඨානවණ්ණනාවන්හි මේ ප්‍රවෘත්තිය දැක්වේ:- ත්‍රිපිටක චූලනාග ස්ථවිරතුමා සතිපට්ඨානය ඒකායනමාර්‍ගය වන්නේ පූර්‍වභාග ප්‍රතිපදා වශයෙනැයි කීය. එතුමායේ ආචාර්‍ය්‍ය වූ ත්‍රිපිටක චුල්ලසුම්ම මහතෙර එය මිශ්‍රකමාර්‍ගය යි කීය. ආචාර්‍ය්‍යයන් නැවත නැවත එසේම කී බැවින් චූලනාග ස්ථවිරතුමා නිශ්ශබ්ද විය. ආචාර්‍ය්‍ය ස්ථවිරතුමා නාන කොටුවට යමින් මේ විවාදය ගැන සලකා බලන්නේ සූත්‍රය මුලසිට අග දක්වා මෙනෙහි කෙළේය. එවිට සූත්‍රය අග තිබෙන “යො හි කොචි භික්‍ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි” යන මේ වාක්‍යය දැක “ඉපද සත්වර්‍ෂයක් පවතින ලොකොත්තර මාර්‍ගයක් නම් නැත. එබැවින් මා කී මිශ්‍රකමාර්‍ගය නො ලැබේ. චූලනාගයන් කී පූර්‍වභාග මාර්‍ගයම ලැබේය” යි නිශ්චයට පැමිණ අටවක් දා ධර්‍මශ්‍රවණයට ඝෝෂාකළ විට එහි ගියේ ය. එදින දහම් දෙසීමට වාරය පැමිණ තිබුණේ චූලනාග තෙරුන්ටය. එතුමන් ආසනයට නැග මාතෘකා ගාථාවන් කී විගස ආචාර්‍ය්‍යතෙරනම ආසනය පිටිපසින් සිටගෙන “ඇවැත් චුල්ලනාගයෙනි”යි ආමන්ත්‍රණය කෙළේය. චුල්ලනාගතෙර ආචාර්‍ය්‍යවරයාගේ කටහඬ හැඳින “ස්වාමීනි, කිමෙක්දැයි” ඇසී. “චුල්ලනාගය, මා කී මිශ්‍රක මාර්‍ගය නො ලැබේ. තොප කී පූර්‍වභාග සතිපට්ඨානමාර්‍ගයම ලැබේ ය”යි මහාස්ථවිරතුමා කීය. එවිට චුල්ලනාග ස්ථවිරතුමා “ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර ශ්‍රැතබුද්ධ වූ මාගේ ගුරුවරයා වැන්නකුටත් මේ ප්‍රශ්නය පැටලේ නම් අනාගතයේ දී සාමාන්‍ය උගතුන්ට මෙය පැටලීයාම පුදුමය්ක නොවන්නේය”යි සිතා ඒ ප්‍රශ්නය නිරාකරණය සඳහා “පටිසම්භිදාමග්ග” පාළියෙන් සාධක ගෙනහැර දක්වා ධර්‍මය දේශනා කෙළේය.
ධ්‍යානලාභියකු මාර්‍ගඵල ලැබූ විට ඒ මාර්‍ගඵල සිත් කිනම් ධ්‍යානයකින් යුක්ත වෙත් ද? යන ප්‍රශ්නයේ දී පුද්ගලයාගේ අදහස පරිදි මාර්‍ගඵලසිත් ප්‍රථම ධ්‍යානාදියෙන් යුක්ත වෙතියි චූලාභය ස්ථවිරතුමා කීය. ඒ කථාව ගෙනවුත් චූලනාග තෙරුන්ට කී විට “යමෙකුට පාදක ධ්‍යානයක් නැත්නම් ඕහට තමාගේ අදහස පරිදි එය ලැබිය හැක. යමෙක් යම් ධ්‍යානයක් මුල්කොට ගෙන විදර්‍ශනා වඩා මාර්‍ගඵල ලැබී නම් ඕහට ඒ පාදක ධ්‍යානයට සමාන වූ ධ්‍යානයක්ම ලැබෙන්නේය”යි එතුමා කීය. (මේ කථාප්‍රවෘත්තිය අට්ඨසාලිනී අටුවාහි ලොකුත්තර කුසලකථාවෙහි එයි.)
තිපිටක චූලනාග තෙරුන්ගේ ශිෂ්‍යයන් ළඟ තිබුණු අකැප පාත්‍රයක් පිළිබඳ කථාවක් විනය අටුවාවේ (328) නිස්සග්ගිය වණ්ණනාවෙහි කියවේ.
සෘද්ධිබලයෙන් උපාදින්නක රූපය කුඩා හෝ මහත් හෝ විය හැකි බව තිපිටක චූලනාග තෙර කීයේයැයි විසුද්ධිමග්ග - ඉද්ධිවිධනිද්දෙසයෙහි දැක්වේ. (398)
චූලනාග - මහානාග තෙර දෙනමගේ මව සම්බන්ධ කථාවක් කස්සපසංයුත්තට්ඨකථාහි එයි. හේ මෙසේ යි:- වසාළ නගර නම් ගමින් සොහොයුරෝ දෙදෙනක් නික්ම පැවිදි වූහ. ඔවුහු පසු කලක චූලනාගත්‍ථෙර - මහානාගත්‍ථෙර යන නම් වලින් ප්‍රකට වූහ. ඒ දෙනම සිතුල් පව්වෙහි තිස් හවුරුද්දක් වාසය කොට රහත් බවට පැමිණ මෑණියන් දැකීම සඳහා අවුත් වාසළ නගර විහාරයෙහි නැවතී පසුදා මව වසන තැනට පිඬු පිණිස ගියහ. මවද කිණිස්සෙන් කැඳගෙනවුත් එක් නමකගේ පාත්‍රයෙහි වත්කෙළේය. ඈට ඒ තෙරුන් කෙරෙහි පුත්‍රස්නේහය උපන් බැවින් “ඔබ මාගේ පුත්‍ර වූ මහානාගතෙරදැ”යි ඇසීය. “පස්සෙන් සිටින තෙරුන්ගෙන් විචාරව”යි කිය තෙරනම නික්ම ගියේය. පසුව සිටි තෙරුන්ටත් කැඳ බෙදා “ඔබ මාගේ පුත්‍ර චූලනාග තෙරදැ”යි ඇසීය. ඒ තෙර නම “උපාසිකාවෙනි, ඉදිරියෙන් සිටි තෙරුන්ගේ විචාළේ නැද්දැ”යි කියා යන්ට ගියේය.
අනුරාධපුර ථූපාරාමයෙහි වූ අසිග්ගාහක පිරිවෙන් විසූ චූලනාග නම් තෙර නමක් පිළිබඳ කථාවක් රසවාහිනියේ තිබේ. එය මෙසේය:- පිණ්ඩපාතිකවූ චූලනාග මහතෙර නිතර චන්‍ද්‍රවංක වීථියෙහි පිඬු පිණිස හැසුරුණේය. එක් දිනක් වළඳා අවසන් වී දිවාස්ථානයෙහි වැඩහුන් ඒ තෙරුන් වෙත අලුත දරුවන් වැදූ සාගින්නෙන් පෙළුණු බැල්ලියක් අවුත් සිටිනු දැක දියයුතු අන් දෙයක් නොදැක උගුරේ ඇඟිල්ල ඔබා තමන් වැලඳූ ආහාර වමාරා බැල්ලියට දුණි. ඉන් පසුත් ඒ පුරුද්ද නිසා ආ බැල්ලියට ආහාර පානයෙන් සංග්‍රහ කෙළේය. තෙරුන් කළ කුශලකර්‍මයේ විපාකයෙන් එදිනම බොහෝ ගිතෙල් - මී - සකුරු ආදිය ලැබුණි. පසුදා ලැබුණු දානය තිස්දහසක් භික්‍ෂූන්ට සෑහෙන තරම් විය. එතැන් පටන් චන්‍ද්‍රවංකවීථිවාසීහු මුර බෙදාගෙන තෙරුන් ප්‍රමුඛ සංඝයාට දන් දුන්හ. මෙසේ තෙරුන් ලාභයෙන් අගතැන් පත්වූ බැවින් දඹදිව මහබෝ වඳින්ට යනු කැමති පන්සියයක් භික්‍ෂූහු තෙරුන් සමග දඹදිව ගියහ. අතරමගදී ඒ පිරිසට ආහාර පානාදියෙන් පීඩාවක් නොවීය. හැරී එන ගමනේ දී තෙරුන්ට බලවත් වාතාබාධයක් ඇතිවිය. එවිට තෙරණුවෝ “මා අපවත්වූ පසු මාගේ ධාතු ගෙන පෙරහන්කඩක දමා ගමකට ඇතුල්වෙන විට එය සංඝ ස්ථවිරයන්ගේ කුඩයෙහි බැඳගෙන යායුතුය; එවිට ආහාරපානාදියෙන් පීඩාවක් නොවන්නේය”යි කියා සෙසු භික්‍ෂූහු එසේ කොට සුවසේ ලක්දිවට හැරී ආහ.