41. බැරගම නාගමහතෙර හා නාග තෙරණිය

දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහ (369) මේ කථාව පෙනේ:- බ්‍රාහ්මණතිස්සභය (=බැමිණිතියාසාය) පැමිණි කල්හි බැරගම (=භාතරගාම) විසූ මිනිස්සු එගම විහාරයෙහි විසූ නාගස්ථවිරියට නොකියාම ගම හැර ගියහ. උදෑසන නැගිට ගම ඉතා නිශ්ශබ්ද බව දැන ඒ ගැන සොයා බලන සේ තරුණ භික්‍ෂුණියන්ට කීය. ඒ භික්‍ෂුණීහු ගමට ගොස් සියලු දෙන ගම හැර ගොස් තිබෙන බව මහතෙරණියට දැනුම් දුන්හ. තෙරණියෝ “තෙපි ඒ ගැන නොසිතා තමන්ගේ ඉගනීම් ආදියෙහි යෙදෙව්”යයි කීහ. දාවල් පිඬු පිණිස හැසිරිය යුතු අවස්ථාවෙහි එකොළොස් දෙනෙකු වූ තමාගේ පිරිස සමග සිවුරු පොරවා පාත්‍ර‍ රැගෙන ගම්දොර අසළ නුගරුකමුලට පැමිණ සිටියාය. එවිට එහි අධිගෘහිත දෙවියා ඒ හැමදෙනට පිණ්ඩපාතය දී “අන්තැනක නො ගොස් හැමදා මෙහි වැඩිය මැනවැ”යි කීය.

තෙරණියගේ බාලසොහොයුරු නාග නම් තෙරනමක් ද විය. එතුමා දුර්භික්‍ෂය නිසා රට හැර යනු කැමතිව තමාගේ 11 දෙනෙක් වූ පිරිසක් සමග වාසස්ථානයෙන් නික්මී තෙරණියට දැනුම් දීම සඳහා බැරගමට ආයේය. එවිට තෙරණිය “අද නැවතීසෙට වැඩිය මැනවැ”යි තෙරුන්ට කීය. පසුදා තෙරණිය ගස මුලට පිඬුපිණිස ගොස් පාත්‍ර‍ය පුරවාගෙන තෙරුන් වෙත ගොස් “ස්වාමීනි මේ අහර වැළඳුව මැනව”යි කීය. තෙරනම එය පිළිගන්නට නො කැමති විය. “ස්වාමීනි, පිණ්ඩපාතය ධාර්මිකය; සැක නො උපදවා අනුභව කළ මැනවැ”යි ඈ කීවිටත් තෙරනම එය පිළිනොගත්තේ ය. එවිට තෙරණිය පාත්‍ර‍ය අහසට දැමීය. එය අහසෙහි සිටියේ ය. තෙරනම “සත්තලක් පමණ අහසේ සිටියත් මේ ආහාරය භික්‍ෂුණියකගේ උත්සාහයෙන් ලැබුණ බැවින් නොවළඳමි. භය නම් හැමකල්හි නොපවත්නේ ය. භය සංසිඳුණු කල්හි මහා ආර්‍ය්‍යවංශය කියන මා විසින් “එම්බා පිණ්ඩපාතිකය, ඔබ භික්‍ෂුණීපරිපාචිත පිණ්ඩපාතය අනුභව නො කළා හුදැ”යි සිතන මට මාගේ සිත ම චෝදනා කරන්නේ ය”යි කියා එය පිළිනොගෙන යන්ට පිටත් විය. දේවතාවා ද “ඉදින් තෙරනම භික්‍ෂුණිය දුන් ආහාරය වළඳන්නේ නම් මම උන්වහන්සේ නො නවත්වමි; එය නො වළඳන්නේ නම් නවත්වන්නෙමි”යි සිතමින් බලා උන්නේ තෙරුන් එය පිළිනොගත් බව දැක ඉදිරියට අවුත් පාත්‍ර‍ය ඉල්වාගෙන ගසමුලට කැඳවාගෙන ගොස් එහි වැඩහිඳුවා තෙරුන් සහිත පිරිසට වැළඳවිය. සත් අවුරුද්දක් මුළුල්ලේ ඒ දේවතාවා එසේ දන් දුණි.

අංගුත්තරඡක්කනිපාත අටුවාහි (655) ද මේ කථාව කිසිවෙනසක් නැතුව පෙනේ. මෙය වනාහි සාරාණීයධර්‍මය පිරීම සම්බන්ධයෙන් දක්වන ලදී. ඒ ධර්‍මය පිරීම ගැන ලෙණගිරිවැසිතිස්ස තෙරුන්ගේ කථාවෙහි විස්තර කරන ලදි. මේ නාගස්ථවිරිය ද එය පිරූ තැනැත්තියකි.