44-45. මජ්ඣිමභාණක දේව මහතෙර හාමලයවාසී මහාදේව මහතෙර.

මජ්ඣිමභාණක දේවස්ථවිරතුමා මලයවාසී මහදේව තෙරුන් වෙත ගොස් කමටහන් ඉල්වීය. “පර්‍ය්‍යාප්තියෙන් කුමක් පුහුණු කොට තිබේදැ”යි ඇසූ විට “මට මැඳුම්සඟිය ප්‍ර‍ගුණය”යි දේවස්ථවිරතුමා කීය. “ඇවැත, මැදුම්සඟිය දැරීම අපහසුය; මූලපණ්ණාසකය හදාරනවිට මජ්ඣිමපණ්ණාසකය එයි, එය හදාරණ විට උපරිපණ්ණාසකය එයි. එබැවින් ඔබට කමටහන් වැඩීම අපහසුය”යි මහතෙර කීය. “ස්වාමීනි, කමටහන් ගත්පසු මම එය හැදෑරීම අත් හරින්නෙමි”යි පොරොන්දු වී කමටහන් ලබාගෙන දහනව හවුරුද්දක් මුළුල්ලේ එය හැදෑරීම හැරදමා කමටහන් වඩා විසිවෙනි වර්‍ෂයේදී රහත්ඵලය ලැබීය. ඉන්පසු භික්‍ෂූන් ඉගෙනීමට ආ කල “ඇවැත්නි, මැඳුම්සඟියේ පාඩම් නො බලා දැන් විසි අවුරුද්දක් ගත විය. නමුත් මට එය ඉතා පුහුණුව පැවැත්තේය”යි කියා ඔවුන්ට කියවන්ට පටන්ගෙන එක් පදයක්වත් නො වරදවා කීය. (මෙය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානගහණනිද්දෙසයෙහ පෙනේ. එංගලන්තයේ මුද්‍රිත පොතේ (95 පිට) මේ කථාව පෙනෙන්නේ මජ්ඣිමභාණක රෙවත - මලයවාසී රෙවත යන නම් වලිනි.)

යථොක්ත මලයවාසී මහාදේව තෙරුන් වෙතින් කමටහන් ගනු කැමති භික්‍ෂු දෙනමක් එතුමන් වෙත පැමිණිවිට ස්ථවිරතුමා “ද්‍වත්තිංසාකාරය සාරමසක් මුළුල්ලේ කටපාඩමින් කියව්”යයි ඒ දෙනමට නියම කෙළේය. නිකාය දෙක තුනක් පමණ පුහුණු කොට සිටි ඒ භික්‍ෂු දෙනම ආචාර්‍ය්‍යාවවාදයට ගරු කිරීමක් වශයෙන් නියම කළසේ එය හැදෑරූහ. එය හදාරන අතරම එය අනුව සිත මෙහෙයීමෙන් ඒ දෙනම සෝවාන් ඵලය ලැබූහයි විශුද්ධි මාර්‍ගයේ කායගතාසතිනිද්දෙසයෙහි ත් සතිපට්ඨානවිභංග අටුවාවෙහි ත් කියන ලදි.