99. මිරිසවැටිපූජාව දුටු දෙනමක්.

මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනා (354) වෙහි මේ කථාව පෙනේ:- මිරිසවැටි මහාවිහාර පූජාවේදී රැස් වූ භික්‍ෂු පිරිස ලක්‍ෂයක් ද භික්ෂුණී පිරිස අනූදහසක් ද විය. එක් සාමණේර නමක් උණු කැඳ රැගෙන යන්නේ පාත්‍ර‍ය වරක් සිවුරු කොණ උඩ ද වරක් බිම ද තැබීය. එක් සාමණේරියක් එය දැක පාත්‍ර‍ය තබාගෙන යාම සඳහා තලියක් සාමණේරනමට දුණි. පසුකලක ලක්දිව දුර්භික්‍ෂයක් ඇති වූ විට දෙදෙනම මූදෙන් එතෙර ගියහ. භික්‍ෂුණිය කලින් එහි ගොස් සිටි බැවින් ඒ පෙදෙසට සිංහල භික්‍ෂුනමක් ආයේ යයි අසන්ට ලැබී ඒ තෙරුන් දැකීමට ගියා ය. එසේ ගොස් පිළිසඳර කථාකරන්නා හු “ස්වාමීනි, මිරිසවැටි විහාර පූජා කාලයේ දී ඔබ කෙතරම් වයස්ගතව සිටියාහුදැ”යි භික්‍ෂුණිය ඇසීය. “මම සත්හැවිරිදි සාමණේරයෙක්ව සිටියෙමි”යි කී තෙරනම “ඔබ එකල්හි කෙතරම් වයසේ සිටියාහුදැ”යි ඇගෙන් ඇසීය. “මමත් සත් හැවිරිදි සාමණෙරියක්ව සිටියෙමි. ඒ පූජාවේ දී දිනක් මම උණුකැඳ ගෙනයන තෙරනමකට පාත්‍ර‍ය තබා ගැනීමට තලියක් දුනිමි”යි කීවිට තෙරනම “ඒ සාමණේරයා මම වෙමි”යි කියා තලිය එළියට ඇද පෙන්වීය. සැටවස් පිරීසිටි ඒ දෙදෙන පෙර සිදු වූ මේ සංසර්‍ගය නිසා මහණකම රැකගත නොහැකිව සිවුරු හැර ගිහිබවට පැමිණියහ. (මේ දුර්භික්‍ෂය බැමිණිතියාසාය විය යුතුයි.)