92. ගෝතම මහතෙර

(දුටුගැමුණු රජු කල)

දුටුගැමුණු කුමරුට නම් දෙන මංගල්‍යයේ දී 1008 නමක් භික්‍ෂූන්ට සංඝ ස්ථවිරව පැමිණියේ ගෝතම නම් තෙරනමකි. කුමරුට සරණසිල් දෙන ලද්දේ ඒ තෙරුන් විසිනි. ඒ තෙරනම පුවඟුදිවයින විසූ බව “පියංගුදීපට්ඨො සික්ඛාපදදායකො ගොතමත්‍ථෙරො” යන රසවාහිනී වචන වලින් පෙනේ. දුටුගැමුණු රජු චුල්ලංගණිය යුද්ධයෙන් පැරදී සැඟවී ගොස් වනයෙහි සිටින විට දන් පිළිගැනීමට ආවේ බොධිමාතුමහාතිස්ස තෙරයයි අංගුත්තර අටුවාහි කියන ලද නමුත් රසවාහිනියෙහ කියවෙන්නේ මෙකී ගෝතම තෙරුන්ගේ නියමය ලෙස එතුමන්ගේ අතවැසි තිස්සකුටුම්බියපුත්ත තෙරුන් එවූ බවයි.

මහාවංශයේ 22 වෙනි පරිච්ඡේදයෙහි ද ගෝතම මහතෙරුන් කුමරුට පන්සිල් දුන් බව කියැ වේ. එහි ම 24 වෙනි පරිච්ඡේදයෙන් සැඟ වී ගොස් සිටිය දී දන් පිළිගැනීමට පැමිණියේ රසවාහිනියෙහි කී කුටුම්බිකපුත්ත තිස්ස තෙරුන් බව ස්ථිර වේ. මහාවංශයෙහි මෙසේ දැක්වේ. “රජහට ශික්‍ෂා දුන් ස්ථවිර තෙමේ පුවඟු දිවයින වසනසේක් ඒ ශබ්දය දිවකණින් අසා කෙළෙඹිපුත් තිස්ස තෙරුන් එහි නියෝග කළ සේක. රජතෙමේ බතින් පිරූ පය තෙරුන්ට දුන්නේ ය. උන්වහන්සේ වහා අහසින් වැඩ ගොතම නම් තෙරුන්ට දුන් සේක.”

යුද්ධයෙන් පසු රජුගේ පසුතැවිල්ල සංසිඳවීම සඳහා රහත් අටනමක් එවන ලද්දේත් පුවඟු දිවයිනේ සංඝයා විසිනි.