විශුද්ධිමාර්ගයේ ශීලනිර්‍දෙශයෙහ මේ කථාව පෙනේ :- චෝරක මහාවිහාරවාසී මහාමිත්ත තෙරුන්ගේ මෑණියන්ට විසගඩු රෝගයක්[1] වැළඳුණු විට ඒ තෙරුන්ගේ සොහොයුරියක් වූ භික්‍ෂුණීය මෑණියන් බලන්ට ආය. “සොහොයුරු තෙරුන් වෙතගොස් බෙහෙතක් දැන ගෙන එව”යි මෑණියන් විසින් යොදවන ලද ඒ භික්‍ෂුණිය තෙරුන් වෙත අවුත් ඒ කාරණය කී විට “මම මුල් ආදිය රැගෙන බෙහෙත් සෑදීමට නොදනිමි. මා පැවිදි වු තැන් පටන් අසංවරයෙන් යුක්තව ලෝභසහගත සිතින් රූපයක් බලා නැත; මේ සත්‍ය වචනයෙන් මෑණියන්ගේ රෝගය සංසිඳේවා. මේ වචන කියා මෑණියන්ගේ සිරුර පිරිමැද්ද මැනවැ”යි තෙරණුවෝ කීහ. භික්‍ෂුණිය ගොස් ඒ කී සේ කළ විට ගෙඩිය පෙණ පිඬක් සේ දිය වී අතුරුදහන් විය.
-
මෙය තනයෙහි සෑදෙන ගෙඩියක් යයි විශුද්ධිමාර්‍ග ටීකාවේ කියන ලදි. ↑