63. ආභිධම්මික ගෝදත්ත මහතෙර

(භාතියරජුකල බු.ව. 684 - 708)

විනය අටුවාහි අදත්තාදාන පාරාජිකාව සම්බන්ධ විස්තරයෙහි මේ කථා ප්‍ර‍වෘත්තිය පෙනේ:- අන්තරසමුද්ද නම් තැන විසූ එක් භික්‍ෂුනමක් මහාසටහන් ඇති පොල් ගෙඩියක් ලැබ එය ලියන පට්ටලයක යොදා හක්ගෙඩියකින් තැනූ භාජනයක් වැනි මනොඥ පැන් බොන භාජනයක් සාදා එහි ම තබා සෑගිරියට ගියේ ය. ඉක්බිති අන් භික්‍ෂුනමක් අන්තරසමුද්දයට ගොස් ඒ විහාරයෙහි වසන්නේ ඒ භාජනය දැක සොරසිතින් ගෙන චේතියගිරියට ම ආවේය. එහිදී ඒ භාජනයෙන් කැඳබොන ඒ භික්‍ෂුනම දැක එය සෑදූ අයිතිකාරයා වන භික්‍ෂුව “ඔබට මේ තලිය කොහෙන් ලැබුණේ දැ”යි ඇසීය. “මා විසින් අන්තරසමුද්දයෙන් ගෙනෙන ලදැ”යි කීකල්හි “මෙය ඔබ සතු නොවෙයි. සොරසිතින් ගන්නා ලදැ”යි කියා සංඝයාට පැමිණිලි කෙළේය. එහි දී හෙවත් සෑගිරි යේ දී මේ ගැන විනිශ්චයක් නොලැබිය හැකි වූ බැවින් අනුරාධපුර මහාවිහාරයට අවුත් එහි (විනිශ්චය) බෙරය ශබ්ද කරවා මහසෑය සමීපයෙහි සංඝයා රැස්කරවා විනිශ්චය ආරම්භ කළහ. එහි වූ විනයධරතෙරවරු මෙහි සොරකමක් ඇතැයි නිශ්චය කළහ. ඒ පිරිසෙහි වූ ආභිධම්මික ගෝදත්ත ස්ථවිරතුමා[1] විනයෙහි ද දක්ෂ වූයේ “මොහු විසින් මේ භාජනය කොතැනක දී ගන්නා ලද්දේ දැ”යි අසා “අන්තරසමුද්දයෙහි දීය”යි කී විට “එහි දී මෙය කෙතෙක් අගනේ දැ”යි ඇසීය. “එහිදී මෙය කිසිවක් නොවටී එහි මිනිස්සු පොල්මදය කෑමට ගෙන කටුව ඉවත දමත් එය ලිපේ දැමීමට ගනිත්” යයි කීය. “භාජන හිමි භික්‍ෂුව විසින් මෙහි කරවූ හස්තකර්‍මාන්තය කෙතෙක් වටීදැ”යි විචාළ විට “එය පණමක් හෝ ඊට අඩුගණනක් වටීය” යි කීවිට ස්ථවිරතුමා “බුදුරදුන් විසින් පණමක් හෝ ඊට අඩු වටිනාකමක් ඇති දෙයක් සොරා ගැනීමෙන් පාරාජිකාපත්තියක් වේ ය යි පණවාතිබේදැ”යි ඇසීය. “යහපති, යහපති, විනිශ්චය කළ ආකාරය යෙහෙකැ”යි සාධුකාර නාදයක් ඒ පිරිසෙන් නිකුත් විය.

භාතිය රජතුමා චෛත්‍ය වන්‍දනාව සඳහා නුවරින් නික්ම එන්නේ ඒ ශබ්දය අසා එය කුමක්දැයි විමසා මේ ප්‍ර‍වෘත්තිය දැන “මා ජීවත්වන කල්හි භික්ෂු - භික්ෂූණීන්ගේ ද ගිහියන්ගේ ද අධිකරණයක් පිළිබඳ අන්තිම විනිශ්චය ගෝදත්ත තෙරුන්ගෙන් ලබාගත යුතුය. එතුමාගේ විනිශ්චයෙහි නොපිහිටන්නන් මාගේ අණින් පිහිටුවන්නෙමි යි අණබෙර ලැවීය.

විනය අටුවාහිම තෙවෙනි පාරාජිකවණ්ණනාවෙහි ද අර්පණාසිතට පළමු උපදනා සිත් සම්බන්ධ මතභේදයක් දක්වමින් මේ තෙරුන්ගේ නම දක්වා තිබේ. (1900 මුද්‍රිත පොතේ 233 පිට)” “විශුද්ධිමාර්‍ගයෙහි පඨවිකසිණ නිද්දෙසයෙහි ආභිධම්මිකගෝදත්ත ස්ථවිරතුමා සවෙනි - සත්වෙනි ජවන්සිත්වලත් අර්පණාව ඉපදිය හැකැයි කී බව දැක්වේ. කැලණි මහාවිහාරයෙහි ගෝදත්ත නම් තෙරනමක් සම්බන්ධ ප්‍ර‍වෘත්තියක් මැදුම්සඟි අටුවාහි භයභෙරව සූත්‍ර‍වර්‍ණනාවෙහි පෙනේ. එතුමා ඉර අවරවෙන්ට දැඟුලක් තිබිය දී පිණ්ඩපාතය ගෙන එක අඟලක් තිබිය දී වළඳන්ට පුරුදුව සිටියේ ය. ඉර නොපෙනෙන දිනවල දී උදෑසන කාමරයට ඇතුල්ව හිඳ ඒ නියමිත වේලාවේදී ම ඉන් එළියට එයි. එක් දිනක් ආරාමිකයෝ “හෙට තෙරුන් නික්මෙන වේලාව බලමු”යි සනිටුහන් කොට බත් සම්පාදනයෙන් පසු කාලස්තම්භය මුල බලා හුන්හ. රජ්ජුරුවෝ දැඟුල්පමණ කාලයේ දීම නික්මියහ. එතැන් පටන් හිරුඑළිය නැති දිනවල තෙරුන් නික්මෙන වේලාව බලා බෙරය වයන්ට පටන් ගත්හ. කැළණියේ විසූ මේ තෙරනම පළමු කී තෙරනම ම දැයි විමසිය යුතු.

විනය අටුවාහි තතියපාරාජිකවණ්ණනාවේ අවසන් කොටසෙහි මේ තෙරුන්ගේ නම සඳහන් කොට තිබේ.[2] යුද්ධ කරන අවස්ථාවකදී වේගයෙන් දුවන භටයකුගේ හිස කඩුවකින් කැපූ විට හිස නැති සිරුර තවත් දුර දිවීය. අනිකෙක් ඒ හිස නැති සිරුරට පහර දී බිම හෙළුවේ ය. මේ දෙදෙනාගෙන් පාරාජිකාපත්තිය කාටදැයි ප්‍ර‍ශ්නයක් ඉපදුණු විට රැස්වසිටි සඟ පිරිසේ දෙකෙන් කොටසක් “බිම හෙලූ පුද්ගලයාටය”යි කීහ. ආභිධම්මික ගෝදත්තස්ථවිරතුමා වනාහි “පාරාජිකාපත්තිය හිස කැපූ අයටය”යි කීය.

මේ අටුවාහි ම තෙරසකවණ්ණනාවෙහි අභූතාරෝපණය ගැන කියමින් චෝදනාවක් කරන්නහු විසින් චෝදනාව ලබන්නාගේ ඉදිරියේදීම නොකළහොත් එය ස්ථිර නො වන බව දක්වමින් ගෝදත්තතෙරුන්[3] කී කථාවක් ගැන දැක් වේ.

  1. ගොධත්‍ථෙර යයි ද සිංහල පොතේ පෙනේ. චීන භාෂාවට නැගූ පොතේ තිබෙන්නේ “ගොදත්ත” කියාය. බුරුම පොත්වල ගොදත්ත යයි පෙනේ.

  2. 1900 දී මුද්‍රිත පොතේ මෙතැන තිබෙන්නේ “ගොධකත්‍ථෙර” යන්නයි.

  3. ඒ පොතේම මෙතැන්හි “ගොදත්ත” යයි පෙනේ.