127. අහසින් ගිය ස්ත්‍රියක්

star_outline

ගිරිකණ්ඩවිහාරයට නුදුරු වත්තකාලක ගම එක් තරුණියකගේ මවුපිය දෙදෙන බණ ඇසීමට විහාරයට යන්නාහු “දුව, ඔබට නොකල්හි ඇවිදීම සුදුසු නැත; අපි ඔබටත් පින් සඳහා බණ අස්නනෙමු”යි කියා ගියහ. ඕ තොමෝ යනු කැමති වුවත් මවුපියන්ගේ කීම අසා ගෙදර නැවතුණි. ගෙමිදුලේ සඳඑළිය නිසා ගිරිකණ්ඩකයෙහි කඳුමුදුණේ පිහිටි චෛත්‍යය බලන ඈට එහි පහන් පූජාව ද පෙනුණි. සෑය වැඳ ප්‍ර‍දක්ෂිණා කරන සිවුපිරිස ද දකින්ට ලැබුණි. “මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පුදමින් හැසිරෙන්ට ලබන්නෝ ද මිහිරි බණ අසන්ට ලබන්නෝ ද ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ වෙති”යි සිතන ඈට උද්වේග ප්‍රීතිය උපණි. ඒ ප්‍රීතිවේගය නිසා අහසට නැගුණු ඕ තොමෝ මවුපියන් එහි පැමිණෙන්ට පෙරම සෑමලුවට අහසින් බැස සෑය වැඳ බණ අසමින් හුණි. මවුපිය දෙදෙන අවුත් ඇය දැක “කොයි මගින් ආවෙහි දැ”යි විචාරන ලද්දී “අහසින් ආවෙමි”යි කීය. “දුවණියනි, අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේය; තී කෙසේ ආයෙහිදැ”යි ඇසූ විට සිදු වූ දේ විස්තර කොට කීය, (මෙය විශුද්ධිමාර්‍ගයේ පඨවි කසිණනිද්දෙසයෙහි (ඉං 144) පෙනේ)