11. කස්සකලෙණ මහාමිත්ත මහතෙර

කස්සකලෙණෙහි මහාමිත්ත නම් තෙරනමක් විසී. ගොදුරු ගමෙහි එක් උපාසිකාවක් තෙරුන් පුත් තනතුරෙහි තබාගෙන උපස්ථාන කරන්නී එක් දිනක් වනයට යන්ට පෙර දුවණියට කථාකොට “අසවල් තැන පරණ සහල් ඇත. අසවල් අසවල් තැන්වල කිරි - පැණි - ගිතෙල් ඇත. තාගේ සොහොයුරු තෙරුන් ආ කල ඒවා ගෙන බත් පිස කිරි - පැණි - ගිතෙල් සමඟ දෙව; තෝත් අනුභව කරව. මම වනාහි ඊයේ පිසූ ඉතිරි බත් කාඩි සමඟ අනුභව කෙළෙමි. දාවලට පලාකොළ බහා සුන්සහල් වලින් ඇඹුල් කැඳක් උයා තබව”යි කීය. ගෙය සමීපයට අවුත් සිවුරු පොරවා පාත්‍ර‍ය අතට ගන්නා තෙරුන්ට මේ කථාව ඇසුණි. එවිට තෙරනම තෙමේ ම තමාට මෙසේ අවවාද කෙළේ ය. “උදේ හීල්බත් කෑ උපාසිකාව දාවලට ඇඹුල්කැඳ බොන්නීය. තා පිණිස පරණ සහල් ආදිය සපයා තබයි. තා නිසා ඈ කෙත්වත් ආදියක් හෝ කෑම - ඇඳීමාදියක් හෝ නො ලැබේ. හුදෙක් ත්‍රිවිධ සම්පත් පතමින් දන්දෙයි. තෝ ඈට ඒ සම්පත් ලබාදීමට සමර්‍ථ වෙහිද?” මෙසේ සලකා පාත්‍ර‍ය නැවත පසුම්බියෙහි බහා සිවුරු ගණ්ඨිය ලිහා හැරීගොස් පාත්‍ර‍ය ඇඳයට තබා සිවුර වැලේදමා “රහත් නොවී ලෙණෙන් පිට නොයන්නෙමි”යි අධිෂ්ඨාන කොට හිඳගත්තේ විදසුන් වඩා පෙරවරු කාලයේ දීම රහත්විය.

ඉක්බිති පිපෙන පියුමක් වැනි ප්‍රේමනීය වූ මුහුණක් ඇති එතුමා ලෙණෙන් දොරට බැස පෙරවරුව ඉක්ම නොගිය බව දැන ගමට ඇතුල්විය. දැරිය දන් පිළියෙල කොට බලා සිටින්නී තෙරුන් පැමිණිවිට ඒ කිරිබත පිළිගන්වා හැරීයන තෙරුන් දෙස බලා සිටියාය. මෑණියන් වනයෙන් අවුත් තෙරුන්ගේ පුවත් විචාළ විට තරුණිය එතුමාගේ මූණ වෙනදාට වඩා බැබළුණේයයි ද ඡවිවර්‍ණය පැහැදිලි වී යයි ද කීය. තෙරුන් එදා රහත්ඵලය ලැබූබව උපාසිකාව එයින් තේරුම් ගෙන “තාගේ සොහොයුරා මහණදමෙහි ඇලෙන්නේය”යි කීය. (මේ කථාව මැඳුම්සඟිඅටුවාහි සතිපට්ඨානවණ්ණනා (237) වෙහිද අංගුත්තරඒකකනිපාත අටුවාහි (276) ද විභංග අටුවාහි සතිපට්ඨානවිභංගවණ්ණනා (197) වෙහිද සමාන ලෙස පෙනේ.)