68. සිතුල්පව්වෙහි රෝගී තෙරනමක්

star_outline

සිතුල්පව්වෙහි විසූ එක්තරා තෙරනමක් බලවත් වාතරෝගයක් වැළඳීම නිසා වේදනාවෙන් කෙඳිරිගාමින් ඔබිනොබ පෙරළුණේය. එක් තරුණ භික්‍ෂුනමක් “ස්වාමීනි, වේදනාව පවතින්නේ කොතැනදැ”යි ඇසීය. “ඇවැත, වෙන් වශයෙන් රිදෙන තැනක් නම් නැත; වස්තුව අරමුණු කොට වේදනාව පවතී” යයි කීය. “ස්වාමීනි, එසේ දන්නා විට ඉවසිය යුතු නොවේ දැ”යි භික්‍ෂුනම කී විට තෙරනම “ඉවසමි”යි කියා වේදනාව ඉවසුවේය. වාතය බලවත් වී පපුව දක්වා බඩ පැළීය. බඩවැල් ඇඳෙහි ගොඩ ගැසුණාහ. තෙරනම ඒ භික්‍ෂුනමට කථාකොට “මෙපමණ ඉවසීම සෑහේද” යි අසා විදසුන් වඩා පිළිසිඹියාවන් සමග රහත්ඵලය ලබා සමසිසීව පිරිනිවියේය. (මෙය සතිපට්ඨානවිභංග අටුවා (185) හි ද මැඳුම්සඟි අටුවාවේ සතිපට්ඨානවණ්ණනාහි ද එයි.)

මැඳුම්සඟි අටුවාහි සබ්බාසවසුත්තවණ්ණනාවෙහි මේ කථාව ස්වල්පයක් වෙනස්ව පෙනේ. එය මෙසේයි: සිතුල්පව්වේ ප්‍ර‍ධාන තෙරනම රාත්‍රි කාලයේ භාවනාවේ යෙදීම නිසා බඩේ වාතයක් හටගති. එතුමා එය ඉවසිය නො හැකි ව ඒ මේ අත පෙරළුණි. සක්මන අසල සිටි එක් පිණ්ඩපාතික තෙරනමක් එය දැක “ඇවැත්නි, පැවිද්දා ඉවසන ස්වභාව ඇත්තෙක් නොවේ දැ”යි කීය. තෙරනම “යහපතැ”යි කියා නිශ්චලව වැදහොත්තේ ය. වාතය නාභියේ පටන් පපුව දක්වා බඩ පැළී ය. තෙරනම වේදනාව යටපත් කොට විදසුන් වඩා අනාගාමියෙක් ව පිරිනිවියේ ය.