40. පැදුම්කඩරොද පංසුකූලික මහතෙර

පාචීනඛණ්ඩරාජියෙහි (=පැදුම්කඩරොද) වැසි පංසුකූලික තෙරනමක් එක්දිනක් සෑගිරියේ චෛත්‍යය වැඳීමට අවුත් එය වැඳ තමාගේ සිවුර පරණ වී තිබුණ බැවින් බොහෝ දෙනා වසන තැනින් සිවුරක් ලැබීම පහසුයයි සිතා අනුරාධපුර මහාවිහාරයට ගොස් එහි සංඝ ස්ථවිරයන්ට වැඳ වාසස්ථානයක් ලබාගෙන රාත්‍රියේ එහි නැවතී සිට පසුදා ඒ මහතෙරුන් සමග නුවරට යන්ට පිටත් විය. හෙතෙම මහබෝ දොරටුව දක්වා ගොස් “පින්වතුන් වසන තැන මනවඩන දෙයක් ලැබිය හැක” යන මාගේ සිතිවිල්ල අපිරිසිදුයයි සිතා ඉන් එහාට නො ගොස් නැවතුණි. පසු දා පැනඹමලුව දක්වා ගොස් එසේම නැවතුණි. තෙවෙනිදා මහසෑයේ උතුරු දොරටුව දක්වා ගොස් නැවතුණි. සිවු වෙනිදා මහතෙරුන් වෙතට ගියවිට මහතෙරනම ඒ තෙරුන් සමග නුවර දෙසට යන්නේ “මොහුගේ විතර්‍කයෙහි අපිරිසිදුකමක් ඇතැ”යි සිතා ඔහුගෙන් ප්‍ර‍ශ්න අසමින් ගියේ ය. එදා රෑ එක් මිනිසකුගේ මලපහ වී ඇඳ තිබුණු වස්ත්‍ර‍ය අපිරිසිදු වූ බැවින් හෙතෙම අශුචි තැවැරුණු ඒ වස්ත්‍ර‍ය කසළ ගොඩට දැම්මේ ය. පංසුකූලිකතෙර නම අතර මගදී නිලමැස්සන්ගෙන් පිරුණු ඒ වස්ත්‍ර‍ය දැක එයට වැඳගත්තේ ය. මහතෙර “ඇවැත, කසල ගොඩට වඳින්නේ කුමක් නිසාදැ”යි ඇසූවිට “ස්වාමීනි, මම කසලගොඩට නො වඳිමි. පුණ්ණදාසියගේ මළ සිරුර ඔතා දැමූ වස්ත්‍ර‍ය දැක නැළි 4 ක් පමණ පණුවන් ගසා දමා හැරගත් බුදුරදුන්ට වඳිමි”යි කීය. ඒ තෙරනම එතැනම සිට විදසුන් වඩා අනාගාමිඵලයට පැමිණ ඒ වස්ත්‍ර‍ය සෝදා සිවුරක් කොට හැඳගෙන නැවත පැඳුම්කඩදොරට ගොස් එහිදී රහත් විය. මෙය අංගුත්තර අටුවාහි චතුක්කනිපාතවණ්ණනාවෙහි (489) එයි. මෙහි කියැවෙන “පැනඹමලුව” පාළිපොතේ (හේවාවිතාරණ මුද්‍ර‍ණයෙහි) පෙන්තම්බන යයි පෙනේ. පනඅම්බංගණ යයි පාඨභේදයක් ද එහි දක්වා තිබේ. අට්ඨසාලිනී අටුවාහි ලක්දිවින් පලාගොස් පරතෙරගිය මහානාග රජු විසින් එහි දී එක් තෙරනමක්ගෙන් ලැබුණු සංග්‍ර‍හය සලකා මෙරටට හැරී අවුත් රාජ්‍යය ලැබූ පසු ජීවිතාන්තය දක්වා සෙතම්බංගණ නම් තැන සංඝයාට බෙහෙත් දානයක් පැවැත්වී යයි කියවේ. සංඝයාට ලැබුණු ලාභ බෙදන තැන පඤ්හම්බමාලක නම් වී යයි මහාවංශයේ 15 වෙනි පරිච්ඡේදයෙන් පෙනේ. මුද්‍රිත අටුවාවේ “පෙන්නම්බන” යයි පෙනෙන්නේ “පඤ්හම්බංගණ” යන්න විය යුතුයි.

අම්බලට්ඨිකා නම් තැනක් ද අනුරාධපුරයෙහි තිබුණු බව දික්සඟි අටුවාවේ මහාසුදස්සන සූත්‍ර‍වර්‍ණනාවෙන් (449) පෙනේ. එය ලෝහප්‍ර‍සාදයට නැගෙනහිරින් පිහිටි බව “පුබ්බෙ වසභරාජා දීඝභාණකත්‍ථෙරානං ලොහප්පසාදස්ස පාචීනපස්සෙ අම්බලට්ඨිකායං ඉමං සුත්තං සජ්ඣායන්තානං සුත්‍වා” යන වාක්‍යයෙන් ඔප්පුවේ. දැන් තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබෙන ගල්ඔරුවලින් යුත් ස්ථානය මෙය විය හැක.