119. රාජමාතුවිහාරය

දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහි (399) මෙසේ කියන ලදි. යම් සේ කොළොම්හොය ඉවුරෙන් රාජමාතාවගේ විහාරය ඉදිරියෙන් ථූපාරාමයට යා යුතු වේද, එමෙන් හිරඤ්ඤවත නදියගේ පරතෙර පටන් සල්වන උයන විය. යම්සේ ථූපාරාමයෙන් ගොස් දකුණු දොරටුයෙන් නුවරට ඇතුල්වෙන මග නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නැවතී ද එසේ ම සල්ගස් පෙළ උයනෙන් නැගෙනහිරට අභිමුඛව ගොස් උතුරෙන් නැවතුණි. එබැවින් එය උපවත්තන නම් විය. (සංයුත් අටුවාහි බ්‍ර‍හ්මසංයුත්තවණ්ණනාවෙහි (i, 175) ත් මෙසේ ම කියන ලදි. උදාන අටුවාහි සිවුවෙනි වර්‍ගයාගේ වර්‍ණනාවේදී (159) ථූපාරාමය නුවරින් දකුණු පැදුම්දෙස හෙවත් ගිනිකොණෙහි පිහිටියේය යි කියන ලදී.)