16. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිර

විශුද්ධි මාර්‍ගයේ කම්මට්ඨානගහණ නිද්දේසයෙහි “චුල්ල පිණ්ඩපාතික තිස්ස” නම් තෙරනමක් ගැන කියවේ. කමටහන් ගැනීම සඳහා භික්‍ෂූන් තුන් නමක් එතුමන් වෙත පැමිණි විට තෙරණුවෝ “මා වෙනුවෙන් කුමක් කිරීමට තෙපි සමර්‍ථවව් දැ”යි විචාළහ.

එයින් එක් නමක් “මම ඔබ වහන්සේ සඳහා පුරුෂ ප්‍ර‍මාණ සියයක් පමණ උස් වූ ප්‍ර‍පාතයක වැටෙන්ට නිර්භය වෙමි”යි කීය. එක්නමක් “මම ඔබවහන්සේ වෙනුවෙන් මාගේ ශරීරය විලුඹේ පටන් ගලක උලා අවසන් වෙනතෙක් ගෙවන්ට සමර්‍ථ වෙයි”යි කීය. අනික්නම “මම ඔබවහන්සේ උදෙසා හුස්ම හිරකොටගෙන මැරෙන්ට සමර්‍ථවෙමි”යි කීය. තෙරනම “මේ භික්‍ෂූහු කමටහන් වැඩීමට යෝග්‍ය වූවෝයයි දැන ඔවුන්ට කමටහන්දුණි. ඒ තුන් නම කමටහන් වඩා රහත් වූහ. මැඳුම්සඟි අටුවාහි රථවිනීත සූත්‍ර‍ වර්‍ණනාවෙහි චුල්ල පිණ්ඩපාතිකතිස්ස නම් තෙරනමක් ගැන පහත පෙනෙන ප්‍ර‍වෘත්තිය දැක්වේ:- එක් උපාසිකාවක් ඒ තෙරුන්ට දොළොස් හවුරුද්දක් උපස්ථාන කළාය. එක් දිනක් එගමෙහි ගින්නක් හටගැනී සියලු ගෙවල් දැවී ගියහ. අන්‍යයන්ගේ කුලුපග භික්‍ෂූහු අවුත් “කිමෙක් ද උපාසිකාවනි, යම්කිසි බඩුවක් බේරාගත හැකි වීද?” යනාදිය අසා කථාබස් කළහ. මේ තෙරනම එසේ විචාරීමට නො පැමිණ පසු දා පිඬුපිණිස හැසිරෙන වෙලාව සලකා එහි ආය. එවිට උපාසිකාව දා ඉතිරි වූ බිත්තියක් අද්දර එතුමන් හිඳුවා ආහාර සම්පාදනය කොට දුණි. තෙරුන් දන් වළඳා කිසිවක් නො කියා ගියවිට අසල්වැසි මිනිසුන් “අපේ උපාසකම්මාගේ හාමුදුරුවෝ දන්වළඳන වේලාවටම ආයේය”යි කීහ. එවිට උපාසිකාව “තොපගේ ස්වාමිදරුවරු තොපට යහපත් වේ. මාගේ ස්වාමි දරුවෝ මට හොඳය”යි කීය.

විසුද්ධිමග්ග - අසුභකම්මට්ඨානනිද්දේසයෙහි චුල්ලපිණ්ඩපාතික තිස්ස නමැති තෙරනමකට කළුදිගාවැව ඇතුළේ වැටී මැරුණු ඇතකුගේ මළ සිරුර බැලීමේ දී අශුභනිමිත්ත උපන්නේය යි කියා තිබේ.