62. ලෙණගිරිවැසි[30] තිස්ස මහතෙර

(බු.ව. 552 - 564 පමණ)

මෙතුමා සාරාණීයවත පුරා මේ ආත්මයේ දී ම එහි විපාක ලැබූවෙකි. සාරාණීයවත පුරන්නහු විසින් තමාට ලැබුනු පිණ්ඩපාතය පළමුකොට ගිලනුන්ට ද ගිලන් උවටැන් කරන්නට ද ආගන්තුක ගැමියන්ට ද අලුත පැවිදි වූ සිවුරු පෙරවීමාදිය නුපුරුදු වූවන්ටද දිය යුතුය. ඉක්බිති ස්ථවිරාසනයේ පටන් කැමති නමකට කැමති පමණක් ගන්ට අවකාශ දිය යුතුය. පාත්‍රයෙහි අහර අවසන් වී නම් නැවත පිඬු පිණිස හැසිර ලත් දෙයින් ප්‍ර‍ණීත දේ මහතෙර ආදීන්ට දී ඉතිරි දෙයක් වැළඳිය යුතුයි. මෙසේ නො කඩවා දොළොස් අවුරුද්දක් පිළිපැදීමෙන් ඒ වත පිරේ. ඉදින් අතරතුරේ දී ඒ සාරාණීයවත පුරන තෙරුන් පිඬුපිණිස ගොස් අවුත් පාත්‍ර‍ය තබා නාන්ට ගිය විටක ඒ බව දත් තෙරනමක් අයිති නමට නො දන්වාම ඒ පාත්‍ර‍ය ගෙන එහි තිබුණු සියලු අහර බෙදාගෙන වැළඳූ විටක “මට ඉතිරි නො කොට වැළඳූහ”යි නො සතුටක් උපන්නේ නම් ඔහුගේ ව්‍ර‍තය බිඳීයයි. එතැන් සිට නැවත 12 අවුරුද්දක් පිරිය යුතු වන්නේ ය. මෙසේ මේ වත පිරිවහුගේ ඊර්‍ෂ්‍යාව හා මසුරුබව දුරුව යයි; මිනිසුන්ට ප්‍රියවෙයි. සුලභ ප්‍ර‍ත්‍යය ඇත්තේ වෙයි. පිරිකර බෙදීමේ දී ඉතා අගනා දෙය ඔහුට ලැබේ; ඔහුගේ පාත්‍රයෙන් කොපමණ අහර බෙදා දුන්නත් අවසන් නොවේ.

ලෙණගලවැසි තිස්ස මහතෙර වරක් මහකිරිගම[1] ආශ්‍ර‍ය කොට විසීය. නාගදීප චෛත්‍යය වැඳීමට යන තෙර පණස්නමක් කිරිගමෙහි පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ හැරී ආහ. තිස්ස තෙර පිඬුපිණිස ගමට ඇතුල් වන්නේ ඒ තෙරුන් දැක විචාරා ආහාර නො ලත් බව දැන “මා හැරී එනතෙක් මෙහි නැවතුන මැනවැ”යි කියා ගමට ඇතුල් විය. පළමුගෙයි මහාඋපාසිකාව කිරි බතක් සපයා තෙරුන් එනු බලමින් සිට එතුමන් පැමිණිවිට පාත්‍ර‍ය පුරවා දුණි. හෙතෙම එය ගෙන ආගන්තුක තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, ගත මැනවැ”යි සංඝස්ථවිරයන්ට කීය. “අප පණස්නමගෙන් එක් නමකට වත් බත්පිඩක් පමණක් නො ලැබුණි. මේ තෙමේ වහා බත් රැගෙන ආයේ කෙසේද”යි සැක සිතූ සංඝස්ථවිරතුමා අන්‍යයන් දෙස බැලීය. “ස්වාමීනි, පිණ්ඩපාතය ධාර්මිකය, සැක නැතිව වැළඳුව මැනවැ”යි කී තිස්ස තෙර මුලපටන් සියලු දෙනට සෑහෙන තරම දී තෙමේ ද සෑහෙන තරමට වැළඳුවේය. බත්කිස අවසන්හි සංඝස්ථවිරතුමා “ඇවැත්නි, ලෝකෝත්තරධර්‍මය ලැබුවේ කවදාදැ”යි ඇසීය. “ස්වාමීනි, මට ලොකොත්තරධර්‍මයක් නැත. ධ්‍යානලාභියෙක් ද නොවෙමි. මා විසින් සාරාණීයවත පුරන ලදි. එතැන් සිට භික්‍ෂූන් දහකට දුන්නත් මාගේ පාත්‍ර‍ය හිස් නොවන්නේය”යි තිස්ස තෙර කීය. (මේ කථාව දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාණවණ්ණනා (398) වෙහි එයි.)

මේ තෙරනම සෑගිරියේ ගිරිභණ්ඩමහාපූජාව පවත්වන අවස්ථාවෙහි එහි පැමිණ මේ දානයෙහි ඉතා වටිනා බඩුව කුමක් දැයි විචාරා “වටිනා වස්ත්‍ර‍ දෙකකි”යි කී විට “එය මට ලැබෙන්නේය”යි කීය. එය ඇසූ එක් ඇමතියෙක් “එක් තරුණ භික්‍ෂුනමක් මෙසේ කියන්නේය”යි රජුට දැන්වීය. රජතෙමේ “තරුණ භික්‍ෂූන්ට ඒ ගැන ආශාව ඇතත් සියුම් වස්ත්‍ර‍ මහතෙරවරුන්ට යෝග්‍යය”යි කියා එය මහතෙරුන්ට දීම සඳහා පැත්තකින් තැබීය. වස් පිළිවෙලින් රජු ඉදිරියට භික්‍ෂූන් පැමිණිවිට නොයෙක් දේ පුදන්ට පටන්ගත් රජුගේ අතට මේ වස්ත්‍ර‍ දෙක අසුනොවී තිබී තිස්ස තෙරුන් පැමිණි විට අසු වී ඒ තෙරුන්ට ඒ වස්ත්‍රදෙක පිදීය. ඉක්බිති ඇමතියාගේ මූණ බලා ඒ තෙරුන් නවත්වන්ට සලස්වා දන් දී අවසන්හි තෙරුන් වෙත වාඩි වී “මාර්‍ගඵලාවබෝධය කවර කලක ලද්දේදැ”යි ඇසීය. තෙරනම පෙරදී මෙන් ම තමාට අධිගමයක් නැති බව ප්‍ර‍කාශ කෙළේය. (මේ කථාදෙක දික්සඟිඅටුවාහි (369) ද අංගුත්තර ඡක්කනිපාතඅටුවාහි (669) ද මැඳුම්සඟිඅටුවාහි කොසම්බක සුත්තවණ්ණාවෙහි (545) ද වෙනසක් නැතිව පෙනේ. ගිරිභණ්ඩ මහාපූජාව නම් මහාදාඨිකමහානාග (බු.ව. 552 - 564) රජු විසින් මිහින්තලා මහාවිහාරයෙහි කරවූ මහාපූජාවකි. (මේ රජුට දුබ්බුට්ඨිමහාතිස්ස යන නමක් ද ඇතැම් පොත්වල පෙනේ.) ඒ පූජාව මහාවංසයෙහි මෙසේ විස්තර වේ:- “රජතෙමේ අඹතලා මහසෑය කරවීය................. නන්රුවනින් කළ සැට්ටයක් සෑයෙහි බහා පළඳවා ඒ සැට්ටයෙහි රන්බුබුළු හා එල්ලෙන මුතුදැල් ද තැබ්බවීය. සෑගිරිය අවට යොදුනක් මානය සරසවා හාත්පස මනා වීථි ඇති සතර දොරටුවක් යොදවා වීථි දැලයෙහි සල්පිල් අතුට කොඩිඇගෑ - තොරණින් තැන්හි තැන්හි සරසවා හාත්පසින් පහන් මාලා ආලෝක කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීතවාදිතයන් ද කරවීය. කොළොම් හොය පටන් සෑගිරිය තෙක් මාර්‍ගයෙහි දෙවි පයින් යනු පිණිස ඇතිරිලි ඇතිරවීම ද කරවීය........................ නුවර සතර දොර මහදනුත් දෙවීය. අතුරු නැති පහන් මාලාවන් මුළු ලක්දිව්හි ද හාත්පස යොදුන්ක මානයෙහි මුහුදු දියෙහි ද පැවැත්වීය. ඒ රජුවිසින් සෑ පෙළහරෙහි කරවන ලද්දා වූ මනා වූ උදාර වූ පූජාතෙම ගිරිභණ්ඩමහාපූජා යයි කියනු ලැබේ.”

අංගුත්තර ඒකනිපාත අටුවාහි ද මේ රජු විසින් ගිරිභණ්ඩවාහන නම් මහාපූජාවක් කරවනලදැයි කියා තිබේ.

රසවාහිනියේ අඤ්ඤතරකුමාරිකා වස්තුවෙහි මේ ගිරිභණ්ඩ පූජාව කරවන ලද්දේ දුබ්බිට්ඨි මහරජුවිසිනැයි කියා තිබේ. සද්ධර්‍මාලංකාරයෙහිත් ඒ නම පෙනේ. මහාවංශයෙහි එවැනි නමක් නො පෙනේ. එහි මහාදාට්ඨික - මහානාග රජු විසින් එය කරවන ලදැයි කියවේ. එබැවින් දුබ්බිට්ඨි හෝ දුබ්බුට්ඨි යන්න ඒ රජුට ම ව්‍යවහාර වූ නාමයක් යයි සැලකිය හැක.

  1. මහාගිරිගාම යයි දික්සගි අටුවා (368) හි ද මහාඛීරගාම යයි අංගුත්තර මජ්ඣිමඅටුවාවන්හි ද පෙනේ.