(බු.ව. 375 - 450 පමණ)
දකුණුදිග විහාරයේ දායක ගමක ඇමති කුලයක උපන් මෙතුමා සුදුසුකල පැවිදිව ත්‍රිපිටක ඉගෙන ගණචාර්‍ය්‍යයෙක් වී භික්‍ෂූන්ට ධර්‍මය උගන්වන්නේ දිනක් මහත් ශිෂ්‍ය පිරිසක් පිරිවරාගෙන ස්වකීය උපාධ්‍යාය තෙරුන් දැකීමට ගියේය. ඒ තෙර නම ඕහට සංවේග උපදවන අදහසින් ඔහු හා කිසිවක් කථා නො කෙළේ ය. පසුදා අලුයම් කාලයෙහි බුද්ධරක්ඛිත තෙර මහතෙරුන් වෙත එළඹ “ස්වාමීනි, මා උගතෙක්ව ආ පසු මා හා කිසිවක් කථානොකරන්නේ කවර වරදක් නිසාදැ”යි ඇසීය.
“බුද්ධරක්ඛිතය, තෝ මෙතෙකින් පැවිදිකිස මස්තකප්‍රාප්ත වී යයි සලකන්නෙහි දැ”යි ඇසූ විට “ස්වාමීනි, කුමක් කළයුතුදැ”යි විචාළේය. පිරිස හා බැඳුම් හැරදමා වාතකසිණපබ්බත විහාරයට[1] ගොස් මහණදම් පුරව”යි කීය. ඒ අවවාදයෙහි පිහිටි එතුමා එසේ පිළිපැද පිළිසිඹියාවන් සමඟ රහත්ඵලය ලැබ රාජපූජිතව මහපිරිවර ඇතිව සෑගිරි වෙහෙර විසීය.
එකල්හි එක් දිනක සද්ධාතිස්ස මහරජ පෙහෙවස් සමාදන්ව සෑගිරියේ රාජගිරිලෙණෙහි වසන්නේ තෙරුන් බණ කියතොත් ඒ බව තමාට දන්වනසේ තෙරුන්ගේ එක් උපස්ථායක භික්‍ෂුනමකට කීය. තෙරුන් කණ්ටකසෑමලුවට නැඟී සෑය වැඳ කළු තිඹිරිගස මුල සිටි විට එක් පිණ්ඩපාතික තෙරනමක් කාළකාරාම සූත්‍රයේ ප්‍රශ්නයක් විචාළේය. තෙරණුවෝ “අද බණකියන දවස බැවින් මෙහිම හිඳගෙන දහම් දෙසන්නෙමි”යි කියා ආසනයක් ගෙන්වාගෙන ඒ ගස යට වැඩහිඳ දේශනාව පටන් ගත්හ. රජුට මේ බව දැනගන්ට ලැබී ප්‍රාරම්භ ගාථාවන් අවසන් කරන විට එහි පැමිණ අප්‍රකට වෙසින් පිරිස් කෙළවර සිටගෙන තුන්යම් රැය මුළුල්ලේම බණ ඇසීය. බණ අවසන්හි සාධුකාර දුන්විට තෙරණුවෝ රජු හැඳින “කොයි වේලේ පැමිණියේ දැ”යි ඇසූහ. “බණ පටන්ගත් කෙණෙහිමය”යි කී විට “මහරජ, ඔබ විසින් අපහසු දෙයක් කරනලදැ”යි කීහ. “ස්වාමීනි, මෙසේ සිටගෙන බණ ඇසීම අපහසු දෙයක් නොවෙයි; ඉදින් ඔබ කී වචනවලින් එකක්වත් මට නෑසී ගියේ නම් - වික්‍ෂිප්තභාවයක් ඇති වී නම් මෙලක්දිව් පොළොවේ කෙවිටිකොණක් ගසන තරම් භූමි ප්‍රදේශයකට වත් ස්වාමිත්‍වය මට නො ලැබේවා”යි කීය.
ඒ දේශනාවෙහි බොහෝ වූ බුදුගුණ ප්‍රකාශ කරන ලද බැවින් රජතෙමේ “ස්වාමීනි, බුදුගුණයෝ මෙතෙක්ම වෙත් ද? තවත් ඇත්තාහුදැ”යි ඇසීය. “මහරජ, මහාගංගාවක් ගලාබසින කල්හි ඉදිකටු සිදුරක් එයට අභිමුඛ කළහොත් ඒ ඉදිකටු සිදුරෙන් ගලාබස්නා ජලය අල්පවන්නාසේ මා කී ගුණයෝ අල්පවෙති. ඉතිරි ගුණ රැස මහජලස්කන්‍ධය සේ විශාල වේ” යනාදි උපමා කීපයක් තෙරුන් දැක් වූ විට පැහැදුණු රජතෙම තෙරුන්ට ලංකාරාජ්‍යය පූජා කෙළේ ය. තෙරණුවෝ එය නැවත රජුට ම භාර දී “ධර්‍මයෙන් රාජ්‍යය පාලනය කළ මැනවැ”යි කීහ.
මේ ස්ථවිරතුමා වනාහි අප බුදුන් ජීවමාන කල ප්‍රකටව සිටි සච්චකනිගණ්ඨයා ය. බුදුරද සච්චකයාට දහම් දෙසුවේ අනාගතයෙහි මෙසේ පැවිදිව රහත්වන බව දැනගෙන යයි මැඳුම්සඟි අටුවාවේ මහාසච්චක සූත්‍රවර්‍ණනාවෙහි දැක්වේ. පූජාවලි නම් සිංහල ග්‍රන්ථයෙහි “පූජාසංග්‍රහකථා පරිච්ඡෙදයෙහි”ත් මෙය විස්තර ලෙස දැක්වේ.
-
චෙතියපබ්බත විහාරයයි ද පෙනේ. ↑