අංගුත්තරඑකනිපාත අටුවාහි (24) ද දික්සඟි අටුවාහි සක්කපඤ්හසුත්තවණ්ණනාවෙහ ද ගාමන්තපබ්භාරවාසී මහාසීව නම් තෙරනමක් පිළිබඳ කථාවක් පෙනේ. එය මෙසේයි:- තෙරණුවෝ මාගම තිස්සමහාවිහාරයෙහි වසමින් භික්‍ෂුසමූහ අටළොසකට ධර්‍මය උගන්වයි. එතුමාගේ අවවාදයෙහි පිහිටා තිස්දහසක් භික්‍ෂූහු රහත්ඵලය ලැබූහ. එයින් එක් භික්‍ෂුනමක් තමාගේ ආචාර්‍ය්‍යවරයාට රහත්ඵලය ඇද්දැයි බලන්නේ එතුමන් පෘථග්ජන බව දැක “මාගේ ආචාර්‍ය්‍ය තෙමේ අනුන්ට පිහිට වෙයි, තමන්ට පිහිටවෙන්ට අසමර්‍ථය”යි සිතා අහසින් ගොස් විහාරය සමීපයේදී බැස දිවාස්ථානයෙහි හුන් තෙරුන් වෙත ගොස් වැඳ වාඩිවිය. එවිට මහතෙර “පිණ්ඩපාතිකය, කුමක් සඳහා ආවෙහිදැ”යි විචාලේය. ස්වාමීනි, අවසර ලැබේ නම් බණ පදයක් විචාරන්ට ආවෙමි”යි කීවිට ඇවැත්නි, බොහෝ දෙනෙක් උගනිත්: ඔබට අවකාශයක් නො ලැබෙන්නේය”යි කීය. “ස්වාමීනි, විතර්‍කමාලකයෙහි[1] සිටිවිට විචාරන්නෙමියි කීවිට “එතැනදී අන්‍යයෝ විචාරති”යි කීය. ඉක්බිති පිඬුපිණිස වඩින විට, සිවුරු පොරවන තැනදී, අසුන්හලට පැමිණ කැඳබී කල්හි, ඇතුල්ගමින් නික්ම එනකල්හි, බොජුන්හලෙහි දන් වළඳා අවසන් වූ කල්හි, දිවාස්ථානයේ දී, පාදෝනා කල්හි, උදෑසන දැහැටි ගෙන මූන දොවීමට යන කල්හි, මූන සෝදා එනකල්හි, එසේ අවුත් සෙනසුනට ඇතුල් වූ කල්හි විචාරන්නෙමි යි පිළිවෙලින් එක් එක් අවස්ථාව ගැන ඇසූ නමුත් ඒ හැමතැනම දී ප්‍රශ්න විචාරන්නෝ සිටිති යි මහතෙර කීය. එවිට ඒ පිණ්ඩපාතික භික්‍ෂූ නම “ස්වාමීනි, මෙපමණකුත් අවකාශයක් නැත්නම් ඔබට මරණයට අවකාශයක් ලැබෙන්නේ ද? බිම ඇතුරූ ලෑල්ලක් මෙන් අනුන්ට උපකාර වෙතත් තමන්ට උපකාර කරගන්ට අසමර්‍ථ වූ ඔබගේ ධර්‍මපදයෙන් මට ක්ම නැතැ”යි කියා තෙරුන් වැඳ එතුමන් බලාසිටියදීම අහසට නැඟ ගියේය.
එය දුටු මහතෙර “මේ භික්‍ෂුව මාගෙන් ප්‍රශ්න විචාරීමට නොව මා සංවේගයට පත් කිරීම සඳහා ආයේය”යි තේරුම් ගෙන දවල්කාලයේත් ප්‍රථම - මධ්‍යම යාමයන්හිත් ඉගෙනීමට ආ භික්‍ෂූන්ට උගන්වා පශ්චිමයාමයෙහි ඉගෙනීමට පැමිණි භික්‍ෂුවක් අලුයම නික්ම යන කල්හි තමාගේ පාත්‍ර සිවුරු ගෙන තෙරණුවෝත් නික්ම ගියහ. වාඩිවීහුන් භික්‍ෂූහු කිසියම් කටයුත්තක් නිසා තෙරණුවෝ පිටත යතියි සිතූහ. “රහත් බව ලැබීම මට අරුමයක් නොවෙයි, දෙතුන් දිනකදී රහත්වී හැරී එන්නෙමි” යි සිතා ශිෂ්‍යයන්ට දැනුම් නොදීම ඇසළ මස පුරතෙළෙස්වක් දා නික්ම ගිය තෙරණුවෝ ගාමන්තපබ්භාරයට ගොස් “රහත් බවට නො පැමිණ නො නිදන්නෙමි”යි අධිෂ්ඨාන කොට ඇඳ හරවා තබා සක්මන් කරමින් භාවනාව පටන් ගත්හ. වස්එළඹෙන දිනට පෙර රහත්වන්නෙමි යි උත්සාහ කළ නමුත් නොහැකි විය. වස්කාලය තුළත් නොහැකි වී පවාරණයට පෙර රහත්වෙන්නට උත්සාහ කළ නමුත් ඒත් නොහැකි විය. මෙසේ 29 අවුරුද්දක් ගතවිය. ඒතාක් කල් නිදීම හෝ පා දෙවීම නො කෙළේය. වස් පවාරණ දිනය පැමිණි විට අන්‍ය සබ්‍රහ්මචාරීහු විසුද්ධි පවාරණය කෙරෙතියි සලකන එතුමාට කඳුලු වැගුරුණි. තිස්වෙනි වස්පවාරණ දිනයෙහි “දැන් භාවනාවෙහි යෙදුනු මට තිස් අවුරුද්දක් ගතවිය, එහෙත් රහත්වන්ට නොහැකි වූ බැවින් මේ ආත්මයේ දී මාර්ගඵලාධිගමයක් නොවන්නේය” යි සිතූ එතුමාට මහත් දොම්නසක් ඉපදී අඬන්ට පටන් ගත්තේය. එවිට සක්මන අසළ සිටි එක් දේවතාවක් ද හඬන්ට පටන් ගති. “මෙහි හඬන්නේ කවරෙක්දැ”යි තෙරුන් විචාළ විට “මම දේවතාවක් වෙමි. ඇඬීමෙන් මාර්ගඵල ලැබිය හැකි නම් මමත් එසේ ලබන්ට උත්සාහ ගනිමි”යි කීය. තෙරණුවෝ “දෙවිවරුන් මට සරදම් කෙරෙත්, මේ ශෝකවීම සුදුසු නැතැ”යි සිතා විදසුන් වඩා පිළිසිඹියා සමග රහත්ඵලය ලැබූහ.
එදින පුන්සඳමඬල බලා “මේ සඳමඬල පිරිසිදු ද? මාගේ ශීලය පිරිසිදු දැ”යි විමසා බලන තෙරනම සඳමඬලෙහි සසලපය ඇතත් මාගේ ශීලයෙහි කිසි කැලලක් නැතැයි මහත් ප්‍රීතියක් උපදවා ගෙන එය යටපත් කොට විදසුන් වඩා රහත්වූහ යි අංගුත්තර අටුවාහි කියවේ. දේවතාවකුගේ කවටකමක් ගැන එහි නො කියවේ.
රහත් වූ ඉක්බිති තෙරණුවෝ දැන් හොවන්නේම යි සිතා ඇඳ පිළියෙල කොට පා දොවීම පිණිස තරප්පලෑල්ලක වාඩිවිය. එකෙණෙහි එතුමන්ගේ ශිෂ්‍ය වූ තිස්දහසක් රහත්හු ඒ බව වෙන්වශයෙන් දැක “මා වැනි අතවැසියකු සිටියදී මාගේ ආචාර්‍ය්‍යයන්වහ්නසේ තමන්ම පා දොවීම නොගැළපේ” යයි සිතමින් ඒ තිස්දහසක් භික්‍ෂූහු “මම පා දොවින්නෙමි, මම සෝදන්නෙමි”යි කියමින් එතැනට රැස්වූහ. ශක්‍රදේවෙන්‍ද්‍රයා ද මේ කාරණය දැන සුජාඅසුරකන්‍යාව සමග එහි අවුත් “ස්වාමීනි, ස්ත්‍රියකැ”යි කියමින් ඒ තිස්දහසක් පිරිස පීරාගෙන තෙරුන් වෙත ගොස් “ස්වාමීනි, මා වැනි උපස්ථායකයකු සිටිය දී ඔබ වහන්සේ පා සෝදා ගැනීම නොයෙදේ”යි කීය. තිස් හවුරුද්දක් මුළුල්ලේ පා නො සේදූ බැවින් එතුමාගේ පතුල් පැළී ගියහ. ඇතැම් විට ගම්දරුවෝ අවුත් කටුවලින් විද ඒ පැළී ගිය තැන් මැසූහ. උපමාවට කියන විටත් මහාසීවතෙරුන්ගේ පතුල් මෙනැ”යි කියන්ට පුරුදු වූහ. එබැවින් තෙරණුවෝ “දේවෙන්‍ද්‍රය, දෙවියන්ට මිනිසුන්ගේ ගඳ ඉතා නපුරු වෙයි, එබැවින් තිස්වසක් නොසේ දූ පා සේදීම තොපට නොහැක්කකැ”යි කීහ. “ස්වාමීනි, ඔබගේ ශීලසුගන්‍ධය සෑම දෙව්ලොවම පැතිර ගියේය. ඒ සුගන්‍ධය නිසා මම මෙහි පැමිණියෙමි”යි කී සක්දෙව්රජ වමතින් විලුම්දෙක අල්වාගෙන දකුණතින් පතුල්දෙක පිරිමැද්දේ ය. එකෙණෙහි තෙරුන්ගේ පාදෙක කුඩා ළමයෙකුගේ පා මෙන් මෘදුබවට පත්වූහ.
-
විතර්‍කමාලකය නම් පිඬුසිඟීමටයන්ට පිටත්වන්ට පෙර අද කොයිතැනකට යම්දැයි සිතා බලන ස්ථානය වේ යයි විසුද්ධිමග්ගණ්ඨියෙහ කියන ලදි. ↑