121. හකුරු දන්දීම

දැහැමි තිස්ස මහරජු (සද්ධා තිස්ස රජු) ට එක් දිනක් ගැල් පන්සියයක් උක්සකුරු ගෙන ආහ. රජතෙමේ “මනාප වූ පඬුරක්ය, ආර්‍ය්‍යයන් වහන්සේ නැති ව අනුභව නො කරමි”යි කියා හකුරු ගැල් දෙසිය පණසක් මහාවිහාරයට යවා තෙමේත් උදෑසන බත අනුභව කොට විහාරයට ගියේ ය. බෙරය ගැසූ විට දොළොස් දහසක් භික්‍ෂූහු රැස් වූහ. රජතෙම ආරාමිකයා කැඳවා “රජුගේ දානයෙහි පාත්‍ර‍ය හෝ ගෙනා භාජනය පුරවාදීම සිරිතය, ඉදින් කිසි පැවිදිනමක් පමණ දැන පිළිගනිමින් පාත්‍ර‍ය පුරවා නො ගන්නේ නම් මට දැනුම් දෙව”යි කීය. ඉක්බිති සෑගිරිවාසී එක්තරා තෙරනමක් මහාබෝධියත් මහාචෛත්‍යයත් වඳින්නෙමි යි අනුරාධපුරයට අවුත් මහාවිහාරයට ඇතුල්වන්නේ මහාමණ්ඩප ස්ථානයෙහි උක්සකුරු ගන්නා වූ භික්ෂූන් දැක පස්සෙන් එන සාමණේර නමට කථාකොට “තට උක්සකුරු වලින් වැඩක් ඇද්දැ”යි ඇසී ය. “ස්වාමීනි, නැතැ”යි කී විට “සාමණේරය, මම ගමනින් වෙහෙසට පැමිණියෙමි. දිවුල්ගෙඩියක් පමණ වූ උක්සකුරු ලබාගනුව”යි කීය. සාමණේරයන් තලිය අතට ගෙන සකුරු දෙන තැනට ගිය විට ආරාමිකයා තලිය පුරවා එසවීය. සාමණේර තැන ඇඟිල්ල සෙලවී ය. “ස්වාමීනි, රජවරුන්ගේ දානයෙහි භාජනය පුරවාදීම ප්‍ර‍මාණ යයි, මෙය ගතමැනවැ”යි කී විට “උපාසකය, රජ දරුවෝ උදාර අදහස් ඇත්තෝ වෙති. නමුත් අපේ උපාධ්‍යායයන් වහන්සේට හකුරු ස්වල්පයකින් ම ප්‍රයෝජන ඇත්තේය”යි කීය.

රජතුමාට ඒ කථාව ඇසී “සාමණේර නම කුමක් කියන්නේ දැ”යි අසමින් ළඟට ආවේ ය. ආරාමිකයා ඒ ප්‍ර‍වෘත්තිය කී කල්හි “ස්වාමීනි, භාජනය පුරවාගත මැනවැ”යි රජතුමාත් කීය. නමුත් සාමණේර නම පෙරසේ ම පිළිතුරු දුන්නේ ය. රජ තෙමේ “මේ සත් හැවිරිදි ළදරු හෙරණ තෙමේත් භාජනය පුරවා ගෙන ගොස් තබාගෙන පසු දිනවලත් කන්නෙමැ යි නො සිතයි. අහෝ! බුද්ධශාසනය පරීක්ෂණය නො කළ හැකිය”යි සිතා සාමණේර නමට පැහැදී ඉතිරි ගැල් දෙසීයපණසේ සකුරුත් ගෙනවිත් සංඝයාට දෙන්ට නියම කෙළේ ය. (මෙය සළායතන සංයුත්ත අට්ඨකථාවේ විද්‍යමානයි.)