91. බහුලමස්සු තිස්ස මහතෙර

(කාවන්තිස්ස රජු කල)

පුණ්ණසාලකොට්ඨක (-පුන්හල් කොටුව) නම් ගම අසළ පිහිටි සගිරිවිහාරයෙහි පන්සියයක් ශිෂ්‍යයන් ඇති “බහුලමස්සුතිස්ස” නම් තෙරනමක් විය. තලගුරුපව්ව අසළ තිස්ස විහාරයෙහි විසූ ධම්මදින්න රහත් තෙරනම පන්සියයක් රහතන් සමග මණිනාගදීප චෛත්‍යය වැඳීමට යන්නේ ඒ විහාරයට පැමිණියේ ය. පසු දා ඒ පන්සියනමත් සෑගිරිවිහාරවාසී පන්සියනමත් පුන්හල් කොටුවේ සිටුගෙයකට දන් පිණිස ගිය විිට ඒ දහස්නමටම සෑහෙන තරම් හා මස් දීම නිසා ආගන්තුක භික්‍ෂූන්ට සැකයක් ඉපදී ඒ කාරණය බහුලමස්සුතිස්ස (මහදැලියා තිස්) මහතෙරුන්ට දැනුම් දුන්හ. සිටාණන් පසුදා ඒ සඟපිරිසට එසේ ම දන්දුන් විට අනුමෝදනා බණ කියන ධම්මදින්න තෙරණුවෝ ප්‍රාණඝාතයේ දොස් දක්වමින් බණ කීහ. එයැසූ සිටුතෙම “ස්වාමීනි, මේ සාවෝ අප විසින් මරණ ලද්දාහු නො වෙති. මාගේ ගෙයි කිසි විටක හා මස් වලින් අඩුවක් නො වන්නේ ය. එය කෙසේ පහළ වන්නේදැ”යි අපි ම නො දනිමුයි කීය. එවිට මහතෙරනම පූර්‍ව කර්‍මය බලා පදුමුත්තර බුද්ධකාලයේ දී දුන් හා මසක් නිසා මෙසේ ලැබෙන බව ප්‍ර‍කාශ කෙළේය. (මෙය රසවාහිනියේ ධම්මදින්න වස්තුවෙහි පෙනේ. සක්‍ෂර්‍මාලංකාරයෙහි කියවෙන්නේ මේ මහදැලියා තෙරනම යෙහෙලිගිරි විහාරයෙහි විසූ බවයි.)