21. විනයධර ඵුස්සදේව මහතෙර

(බු:ව: 400-480)

විනය අටුවාවේ නොයෙක් තැන නම පෙනෙන ඵුස්සදේව ස්ථවිරතුමා මහණකමින් උපතිස්ස මහතෙරුන්ගේ සොහොයුරෙකි. උපතිස්සතෙරුන් මෙන්ම විනය ධරව සිටි මේ තෙරුන්ගේ මතයන් ගැන විනය අටුවාහි නොයෙක් තැන කියවේ. මිනිසකු සඳහා කැපූ බොරුවලක අමනුෂ්‍යයකු වැටී මළොත් වළ සෑරු භික්‍ෂුවට පාචිත්තිය ඇවැත වේ යයි ඵුස්සදේව තෙරුන් කී බව තතියපාරාජික වණ්ණනාවෙහි (248) කියවේ. නිස්සග්ගිය වණ්ණනාවෙහි ගිලාන සම්මුතිදානය ගැන එතුමාගේ මතයක් කියවේ. (364) ඡබ්බස්ස සික්‍ඛාපද වර්‍ණනාවෙහි ද එතුමාගේ නම සඳහන් වේ. (383) කැප වූ පුලුන් ගෙන කොට්ටයක් සාදන විට එය ප්‍ර‍මාණයට වඩා මහත් වුවත් වරදක් නැතැයි මේ තෙරුන් කී බව චුල්ලවග්ග සෙනාසනක්ඛන්‍ධ අටුවාහි (308) පෙනේ.

විශුද්ධිමාර්‍ගයේ ඡඅනුස්සති නිද්දෙසයෙහි (ඉං 228) කටකන්‍දරවාසී ඵුස්සදේව නම් තෙරනමක් මාරයා මැවූ බුදුරුව බලා ප්‍රීති උපදවා විදසුන් වඩා රහත් වී යයි කියවේ.