“පොතේ තිබුණ තරමින් යමක් නො විමසා පිළිගතයුතු නොවේ. ආචාර්‍ය්‍යවරයාගේ උසස්කම සලකා යමක් පිළිගතයුතු නොවේ” ය යි බුදුරදුන් විසින් වදාරන ලදි. හැම කරුණක් ම විමසා බලා යමක් පිළිගැනීම යුතු යයි ද තමාට වැටහේ නම් එය පිළිගතයුතු ය යි ද එතුමන් විසින් කියන ලදි. බුද්ධාගමේ පරමාර්ථය වූ මාර්ගඵල පවා ලැබිය හැක්කේ තම තමන් ම විමසා බලා අවබෝධකර ගැනීමෙනි. ලෝකයේ යම් පමණක් ආගම් ඇත්නම් ඒ ආගම් අතුරෙන් පෞද්ගලික විවේචනයට මෙසේ උසස් තැනක් දුන් අන් ආගමක් නැත්තේ ය. අද වසන උසස් ශාස්ත්‍රඥයන්ට බෞද්ධාගම ප්‍රියවී ඇත්තේ “අනුන් කී නිසා පොතේ තිබෙන නිසා ඇදහිය යුතුය” යන නියමයක් මේ ආගමේ නැති බැවිනි.
මෙසේ හැම දෙයම විමසා බැලීමට බෞද්ධාගමේ නිදහස ඇතත් පෙළ-අටුවා-ටීකා පොත්වල තිබෙන දේ විමසා බලා නො ගැළපෙන තැන් පෙන්වීම නොකටයුතු යන්න මින් අවුරුදු තිහ-හතළිහකට පෙර මෙරට බෞද්ධ උගතුන් අතර පැවති මතයකි. මේ මතයට පහරදෙමින් ඒ ඒ පොත්වල ඇති නො ගැළපෙන තැන් පෙන්වමින් මේ වර්තමාන යුගයේදී පළමුවෙන් පුවත්පත් ආදියේ ලිපි පළකරවන්ට පටන් ගත්තේ මෙය ලියන මම ය. මුලදී අමුතු දෙයක් සඳහා ඉදිරිපත් වෙන්නාට බොහෝ අපහාස හිරිහැර විඳින්නට සිදුවීම ලෝකයේ ස්වභාව ධර්‍මයකි. 1930 පටන් මා විසින් මෙවැනි ලිපි පළකරවීම ආරම්භ කරන ලදි. එය දෙබරයකට ගල් ගැසීමක් වැනි විය. “සිංහල බෞද්ධයා” පත්‍රයෙහි මේ ලිපි පළවේගෙන යනවිට බොහෝ දෙදෙන්ක එකල දඹදිව සිටි අනගාරික ධර්‍මපාලතුමන් වෙත ලියුම් යවා ඒ ලිපි පළකරවීම නැවැත්වූහ.
ඉන්පසු කවදත් විවේචනයට කැමති කුමාරණතුංගසූරීන් අලුතෙන් පටන් ගත් “ලක්මිණි පහන් පත්‍රයේ” මේ ලිපි කීපයක් පළකෙරෙව්වෙමි. මේ අතරේ දී “මාරයා මනඃකල්පිත දෙවියෙකි.” යි මා සැපයූ ලිපියක් දිනමිණ පත්‍රයේ පළවීමෙන් 1935 දී දීර්ඝ විවාදයක් ඇති විය. ඒ වාදයෙන් ද බොහෝ කරුණු හෙළි විය. මෙසේ වාද විවාද පවත්නා අතර රටේ උගතකු සේ පිළිගත් පණ්ඩිතොපාධිධර නායක තෙරනමක් මා වෙත ලියුමක් එවමින් ඇතැම් අටුවා පොත්වල නො ගැළපෙන තැන් ඇති බව සැබෑ වුවත් ඒවා නූගත් මිනිසුන්හා අන්‍යභක්තිකයන් කියවන පුවත් පත්වල පළකරවීම යෝග්‍ය නැතැ යි දන්වා එවී ය. යුරෝපයේ පාළිපොත් මුද්‍රණය වී ඇති බවත්, පාළි දන්නා උගතුන් පිටරට වල ඇති බවත්, දැනටම ඒ උගතුන් මේවා විවේචනය කොට ඇති බවත් නො දැන මේ නායක මහාස්ථවිරතුමන් කියන කීමට අනුකම්පා කටයුතු ය. “බුද්ධධර්‍මය විවෘත වූයේ ම බැබළේ” යයි බුදුරදුන් දෙසූ දේශනාව එතුමා නො දැන සිටියා විය හැක.
තවද අටුවාවල දැක්වෙන ලංකා ඉතිහාසයට සම්බන්ධකම් ඇති කථාවස්තූන් සිංහලට නගා 1932 සිට “සිංහල බෞද්ධයා” “සිළුමිණ” යන පත්‍රවල පළකෙරෙව්වෙමි. මෙසේ මේවා පළ වූ පසු හිත්තටියේ උදිත නම් ස්ථවිරතුමකු විසින් 1939 යේ දී “ත්‍රිපිටක පරීක්‍ෂණය” නම් පොතක් පළකරවන ලදි. මේ පොතේ මා විසින් පත්‍රවල පළකරවූ කථාවස්තු රාශියක් ද ඇතුළත්ව තිබේ. ඒ කථාවස්තු හා අටුවාවල නො ගැළපෙන තැන් මා සොයා ගත්තාසේ ම ඒ ස්ථවිරතුමාටත් සොයාගත හැකි බැවින් මාගේ ලිපිවලින් ඒවා උපුටා ගන්නා ලදැයි චෝදනාවක් නො නැගේ. එසේ ද වුවත් ශාස්ත්‍රීය පරීක්‍ෂණයක දී ඒ පරීක්‍ෂණය ඉන් පෙර කවරකු විසින් වුවත් ස්වල්ප වශයෙන් හෝ කරන ලද නම් ඒ බව නො මසුරුව නො මැලිව දැක්විය යුතුය. අපේ ලක්දිව පවත්නා බලවත් ප්‍රතිගාමී ගතියක් නම් මෙස් නම් ගම් දැක්වීමට ඇති අකමැත්තයි. මේ අකමැත්ත නිකාය භේද කුල භේද ආදිය නිසාත් ඇතිවේ. යම් කාරණයක් ගැන අන්‍ය නිකායිකයකු කොපමණ ලීළුත් ඇතැම් අන්‍ය නිකායිකයන්ට එය නොපෙනේ. ස්වනිකායිකයකු ඒ කාරණයම ඊට පසුව ලීවොත් එය ඔවුන්ට හොඳින් පෙනෙනවා පමණක් නොව ඒ ස්වනිකායිකයාට ඒ සඳහා ගෞරවොපාධි පවා පිරිනමති.
මාගේ මේ පොතට මුලදී දී තිබුණ නම “අටුවා වලින් ඉතිහාසයට (-උපකාර වන දේ)” යන්නයි. මෙය ලියා බොහෝ කල් ගතවූ නමුත් කඩදාසි මිල නැගීම ආදී නොයෙක් කරුණු නිසා මුද්‍රණය පමා විය. මෙසේ පවත්නාතර 1950 දී පණ්ඩිත බද්දේගම විමලවංස ස්ථවිරතුමන් ලියූ “බෞද්ධ සාහිත්‍යය” නමැති පොත දැකීමෙන් “අටුවා පරීක්‍ෂණය” නමැති කොටස ද මෙයට එක්කරන්ට සිත්විය. එය වනාහි අලුතෙන් ලියූ කොටසක් නොව පෙර පත්‍රවල පළ වූ ලිපි දාතම් සහිතව සංග්‍රහ කිරීමෙන් සම්පාදිත වූවකි. පත්‍රවල පළ වූ ඒ ලිපි සියල්ල මා ළඟ ඇතත් එයින් වැදගත් යයි හැඟෙන ඒවා පමණක් උපුටා මෙහි සංග්‍රහ කරන ලදි.
මෙහි ඇතුළත් කථාවස්තු වලින් ලංකා ඉතිහාසයට රුකුලක් ලැබෙනවා පමණක් නොවේ, පුරාණ ලක්දිව සමාජතත්‍වය තේරුම් ගැනීමට ද ඒවා බොහෝ උපකාර වෙති. මෙහි අග තිබෙන සංඥානාම සුචියෙන් ඇතැම් නම් දෙතුන් විධියකට පොත්වල ලියවී තිබෙන සැටි පෙනෙනවා ඇත. සිංහල නම් පාළියට නැගීම නිසා අපේ ඉතිහාසයට සිදුවී තිබෙන පාඩුව මහත් ය. සිංහල නම් ම තිබුණා නම් දැනුත් ඇතැම් ස්ථානයක් ඇඳින ගැනීම පහසුවෙන්ට තිබුණි. “නළඛණ්ඩපධානඝර” යන්න සද්ධර්‍මාලංකාරයෙහි ලියවී තිබෙන්නේ “බටකඩ භාවනාගෙය” වශයෙනි. කථා දෙකේ සමානත්‍වය නිසා එය එක් ස්ථානයෙකැයි තේරුම් ගත හැකිවා මිස නම් දෙකේ හැටියට නම් එක් තැනකැයි තේරුම් ගැනීම අපහසු ය.
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
30.07.1951 අම්බලම්ගොඩ.